

ත්‍රිමාන තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය වූ
බාමියන් බුදු පිළිමවහන්සේ
ඩයිනමයිට් යොදා ගනිමින්, තලේබාන් ඉස්ලාමීය අන්තවාදීන් ඇෆ්ගනිස්තානයේ බාමියන් නිම්නයේ පිහිටි බාමියන් බුදු පිළිම වහන්සේලා පුපුරුවා විනාශ කළේ මීට වසර 20 කට පෙරය.
6 වැනි සියවසේ සිට 7 වැනි සියවස තෙක් ඉදි කළ මෙම බුද්ධ ප්‍රතිමා, වසර දහස් ගණනක් තිස්සේ, බෞද්ධයන් පමණක් නොව බෞද්ධ නොවන, ඇෆ්ගන් මුස්ලිම්වරුන්ගේත් මවිතයටත්, ගෞරවාදරයටත් හේතුවක් විය.
එහෙයින් පිළිම විනාශ කර දැමීමට, තලේබාන් අන්තවාදීන් තීරණය කිරීම, ආගම් භේදයකින් තොරව ලොව කාගේත් දැඩි විරෝධයට හේතුවක් විය.
එසේ විනාශ කළ එක් බුදු පිළිමයක් පසුගිය දා ඒකාලෝක විය.
බුදු පිළිමය පිහිටා තිබූ ගල් කුහරය තුළ, එය යළි ප්‍රති නිර්මාණය කෙරුණි. ඒ, ත්‍රිමාන තාක්ෂණයෙන් ආලෝකමත් වෙමිනි. යෝධ පිළිම වහන්සේ මෙසේ ඒකාලෝක වූයේ පරිගණක තාක්ෂණය, ලේසර් කිරණ සහ ප්‍රක්ෂේපණ යන්ත්‍ර (ප්‍රොජෙක්ටර්) භාවිත කරමිනි.

ව්චීයාපෘතියට සම්බන්ධ වූ ජාතික යුවළ


බුදු පිළිමය විනාශ කිරීමට පෙර පැවැති ආකාරය
බුදු පිළිමය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වූයේ චීන ජාතික යුවළකි. සැංග් යූ සහ ලියැං හූ නමැති ඔවුන් දෙදෙනා කෝටිපති ව්‍යාපාරිකයන්ය.
බුදු පිළිම වහන්සේ ඒකාලෝක කිරීමේ ව්‍යාපෘතියට වැය වුණු මුදල පවුම් 77,500 කි.
බාමියන් බුදු පිළිම විනාශ කර දැමීමෙන් මහත් දුකටත් කම්පාවටත් පත්වුණු චීන ජාතික යුවළක් ලෙස සැංග් යූ සහ ලියැං හූ සැලකිය හැකිය.
විනාශ කළ බුදු පිළිම වහන්සේ ත්‍රිමාන තාක්ෂණයෙන්, ප්‍රති නිර්මාණය වූයේ, සැබෑ පිළිම වහන්සේගේ උසට සමාන අයුරිනි. මෙම කටයුත්තේ දී චීන රජයේ සහාය යුවළට නොඅඩුව ලැබුණි. සැංග් යූ සහ ලියැං හූ ට ඇෆ්ගන් රජයෙන් පමණක් නොව යුනෙස්කෝ සංවිධානයෙන් ද අවසර ගැනීමට සිදුවිය.
බාමියන් බුදු පිළිම පිහිටි ඒම ස්ථානය අද, යුනෙස්කෝවට අයත් විනාශ වූ ලෝක උරුමයක් ලෙස නම් කළ ස්ථානයකි.
බුදු පිළිම වහන්සේ ඒකාලෝක වූයේ එක් දිනක් සඳහාය. එය නැරැඹීමට පැමිණි ඇෆ්ගන් වැසියන්ට බාමියන් නිම්නයේ ජීවත් වන්නේ හසාරා නමැති ඇෆ්ගන් වාර්ගික ජනතාවය. මොවුන් තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කරන පිරිසකි.
එපමණක් නොව, මොවුන් වසර ගණනාවක් තිස්සේ තලේබාන් රජයේ ඇස නොගැටුණු පිරිසක් ලෙස ද පැවැසෙයි. බුදු පිළිමය ප්‍රතිනිර්මාණය වූ දා රාත්‍රියේ එය නැරඹීමට පැමිණි හසාරා වැසියන්, නටමින් ගී ගයන්න වූ බවත්, මැදියම් රැය පසුවන තුරු ඔවුන් එහි රැදී සිටි බවත් වාර්තා වේ.
බුදු පිළිම වහන්සේ යළි ප්‍රතිනිර්මාණය කරන බවට ප්‍රසිද්ධියක් ලබා නොදුන් නමුත්, එය නැරඹීමට ඇෆ්ගන් වැසියන් බොහෝ දෙනකු එහි පැමිණි බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.
බාමියන් නිම්නය පිහිටා ඇත්තේ මධ්‍යම ඇෆ්ගනිස්තානයේය. බාමියන් නිම්නයේ වැලි ගල් පර්වත අතරේ නෙළා තිබුණු මෙම බුදු පිළිම වහන්සේලා, කාලයක් ලෝකයේ විශාලතම බුදු පිළිම වහන්සේලා ලෙස පිළි ගැණින.
පිළිම නෙළන්න ඇත්තේ බාමියන් නිම්නයේ සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා යැයි විශ්වාස කෙරේ. බාමියන් නිම්නය පිහිටා ඇත්තේ ඉන්දීය උප මහද්වීපය සහ මධ්‍යම ආසියාව මැදය. නැගෙනහිර සහ බටහිර යා කළ සේද මාවත වැටී තිබුණේ මේ හරහාය. පුපුරුවා විනාශ කර දැමීමට පෙර බාමියන් බුදු පිළිම දෙකෙන් බටහිර දෙසින් පිහිටි විශාලතම පිළිමය අඩි 175 ක් උසින් යුක්ත විය.
ත්‍රිමාන තාක්ෂණයේ ආධාරයෙන් යළි ආලෝකමත් කෙරුණේ මෙයයි.
නැගනහිර දෙසින් අනෙක් පිළිම වහන්සේ ප්‍රමාණයෙන් කුඩා විය. එහි උස වූයේ අඩි 120 කි. මෙම කුඩා පිළිමයේ කොටස් තවමත් ඇති අතර, ඒවා යොදා ගනිමින් පිළිමය යළි ප්‍රතිසංස්කරණය කිරීමට ඇෆ්ගන් රජය තීරණය කළේ 2017 දීය. ඒ සඳහා යුනෙස්කෝ සංවිධානය, ඉතාලි සහ ජර්මන් රජය එක් වී සිටින බව ද පැවැසෙයි.
මීට අමතරව, බාමියන් නිම්නයේ කළ පුරාවිද්‍යාත්ම කැණීම් වලින් තවත් බුදු පිළිම වහන්සේලා පමණක් නොව, යෝධ සැතපෙන බුදු පිළිම වහන්සේ නමකගේ ප්‍රතිමාවක් ද සොයා ගෙන තිබේ.
වසර 1,700 ක් තිස්සේ නොනැසී පැවැති, බුදු පිළිම වහන්සේලා, විනාශ කරන්නැයි අණ දුන්නේ ඇෆ්ගනිස්තානයේ තලේබාන් නායක මුල්ලා මොහොමද් ඕමාර් ය. ඒ, 2001 මාර්තු මාසයේය. එහෙත්, පිළිම විනාශ කිරීම සිතූ තරම් පහසු කටයුත්තක් නොවිණි. ඊට සති ගණනක් ගත විය.
පළමුවෙන් ගුවන් යානා නාශක අවි යොදා ගනිමින් පිළිමවලට පහරදීම සිදුවිය. එය අසාර්ථක විය. ඉන්පසු යුද ටැංකි විනාශ කළ හැකි බිම් බෝම්බ බුදු පිළිම යට සවි කළ අතර, බුදු පිළිම හාරා ඩයිනමයිට් ඇතුළු කෙරුණි. පිළිම විනාශ කෙරුණේ ඒ අනුවය.
බුදු පිළිම විනාශ කිරීම, තලේබාන් සංවිධානය ඔවුන්ගේ ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීමක් මිස අන් කිසිවක් නොවීය. 2001 සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩාව ඇමෙරිකාවට පහර දුන්නේය. ප්‍රහාරය මෙහෙය වූ අල් කවිඩා නායක ඔසාමා බින් ලාඩන් සැඟවී සිටියේ තලේබාන්වරුන් යටතේ පැවැති ඇෆ්ගනිස්තානයේය.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයට පහරදීම ආරම්භ කළේ ඉන්පසුවය. ඇෆ්ගන් තලේබාන්වරුන්ට නායකත්වය දෙමින්, බාමියන් බුදු පිළිම විනාශ කරන්නැයි අණ දුන් (එක් ඇසක් ද අහිමි) මුල්ලා මොහොමද් ඕමාර් ඝාතනය කෙරුණේ 2013 අප්‍රේල් 23 වැනිදාය.
ඩේලිමේල් ඇසුරිනි