හර් හර් මහ දේව්!! මහා ශිව රාත්‍රිය අදයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 11, 2021

හර් හර් මහ දේව්!! මහා ශිව රාත්‍රිය අදයි

ලොව පුරා හින්දු බැතිමත්හු අද (11) ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මහා ශිව රාත්‍රී දිනය සමරති. 

හින්දු දේව පුරාණයට අනුව, විශ්වයේ නිර්මාතෘ රාමා සහ විශ්වයේ ආරක්ෂකයා විෂ්ණු යන දෙවිවරුන් කවුරුන් බලවත්දැයි වාද විවාද කරද්දී, ඔවුන් අතර පැමිණ ආලෝක කදම්භයක් විහිදුවා 'මහ දෙවියන්' තමන් බව තහවුරු කළේ ශිව ය. 

හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් එසේත් නැතිනම් මහ දෙවියා තමා යන්න ශිව දෙවියන් ලොවට විදහා දැක්වු ඒ අසිරිමත් දිනය ශිව රාත්‍රිය ලෙස හින්දු බැතිමතුන් විසින් සමරනු ලැබේ.

ශිව රාත්‍රීය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, ශිව දෙවියන්ගේ ආලෝක කදම්බයෙන් මෝහාන්දකාරය දුරුකොට ප්‍රඥා මහිමය අත්කර ගැනීමේ ප්‍රාර්ථනාව පෙරදැරිව ශ්‍රී ලාංකේය සහ ලොව පුරා හින්දු බැතිමතුන් අනාදිමත් කාලයක සිට මහ ශිව රාත්‍රී දිනය සමරනු ලබන බවය. 

පසුගිය 2020 වසරේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය රීතීන්වලට අනුගතව මහ ශිව රාත්‍රී දින වතාවත් සිදුකිරීමට හින්දු බැතිමතුන්ට සිදුවූ බව ද ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ. 

මෙවර යම් ලිහිල් කිරීමක් පැවතිය ද සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් එම දිනය සමරනු ඇති බවට තම විශ්වාසය බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මහ ශිව රාත්‍රී දින පණිවිඩය මඟින් සඳහන් වෙයි. 

ජනපති තුමන්ගේ මහ ශිවරාත්‍රී දින පණිවිඩය 

ශිව දෙවිඳුන්ගේ ආලෝක කදම්භයෙන් මෝහාන්ධකාරය දුරුකොට, ප්‍රඥා මහිමය අත්කර ගැනීමේ ප්‍රාර්ථනය පෙරදැරිව, ශ්‍රී ලාංකේය සහ ලොව පුරා හින්දු බැතිමත්හු, අනාදිමත් කාලයක සිට මහ ශිවරාත්‍රී දින මහත් භක්තියෙන් යුතුව ස්වකීය ආගමික වතාවත්හි නිරත වෙති. 

 ලොව බලවත්ම දෙවිඳුන් ලෙස ඔවුන් පිළිගන්නා ශිව දෙවියන්ගේ ආශිර්වාදය සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය අභිවෘද්ධියටත්, ආධ්‍යාත්මික පෝෂණයටත් ප්‍රබල පිටිවහලක් බව හින්දූන්ගේ විශ්වාසයයි. 

 හින්දු සාහිත්‍යයේත්, ජන සමාජයේත් උත්තම දිනයක් බවට පත්ව ඇති මහ ශිවරාත්‍රී දින ඔවුහු නිදි වර්ජිතව, සංස්කෘතික අගයක් සහිත විවිධ වූ කාර්යයන්හි නියැලෙමින් ශිව දෙවියන්ට පූජෝපහාර කරති. එමගින් සර්ව කාලීන ආශිර්වාදය අපේක්ෂා කරති. සිත තැන්පත් කරගනිමින් භාවනානුයෝගීව මහා ශිව දෙවි ආවර්ජනය කිරීමෙන් ආත්මය සුවපත් වන බව හින්දු බැතිමත්හු අදහති. 

 අතීතයේ පටන් ශ්‍රී ලාංකේය හින්දු ලබ්ධිකයන්ගේ මේ විචිත්‍රවත් සංස්කෘතික උළෙල අපේ ජන සමාජයට අමිල වටිනාකමක් එක් කළේය. බහුවිධ සාහිත්‍ය කලා සේම, නර්ථනයන් බිහිකිරීමට ද මේ ආගමික චාරිත්‍රය හේතු වී තිබේ. පසුගිය වසරේ පැතිර ගිය කොවිඞ් වසංගතය නිසා සෞඛ්‍ය නීති රිතීවලට අනුගතව මහා ශිව රාත්‍රී දින වතාවත් කරන්නට හින්දු බැතිමතුන්ට සිදුවිය. 

මෙවර යම් ලිහිල් කිරීමක් ඇතත් සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් මහ ශිවරාත්‍රී දිනය සමරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. 

මහ ශිවරාත්‍රී දින පහන්සිල හින්දු ජනයාගේ ආධ්‍යාත්මය ආලෝකමත් කරන්නා සේම, සමස්ත සමාජය පූරා සාමය, සංහිඳියාව සහ සතුට සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවිඳුන්ගේ ආශිර්වාදය වේවා යි මම ප්‍රාර්ථනා කරමි.

Classified_Ad

Classified_Ad_News_Bottom