රටවල් 130 ක් තවමත්, කොවිඩ් 19 වයිරසය ආසාදනය වළක්වන එන්නත් කිසිවක් දැක නැති අවස්ථාවක ලංකාවේ අපට ඉන්දියාවේ සේරම් ආයතනයේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත ලැබෙයි.
නිසි ක්‍රියාපිළිවෙළ යටතේ පමණක් නොව, 'හොර පාරෙන්' ද එන්නත් ලබා ගැනීමට ඇත්තේ ලොකු උනන්දුවකි. එන්නත් එසේත් නැතිනම් වැක්සීන් ගැන කියද්දී, පැතජන් (රෝගකාරක බීජය), ඇන්ටජන් (ප්‍රතිදේහ ජනක) සහ ඇන්ටිබොඩි (ප්‍රතිදේහ) ගැන පැහැදිලි කළ යුතුමය.
පැතජන් යනු විෂබීජය. අප ලෙඩ කරන රෝගකාරක මොවුන්ය. අපේ සතුරන් වන්නේ මොවුන්ය. පැතජන් වර්ග 3 කි. ඒවා වයිරස විය හැකිය. බැක්ටීරියා විය හැකිය. දිලීර විය හැකිය.
ඇන්ටජන් යනු පැතජනයක කොටසකි. අපගේ සිරුරේ ඇන්ටිබොඩි නිෂ්පාදනය සිදුවන්නේ, ඇන්ටජන් නිසාය. සතුරන්ට එරෙහිව සටන් කරන හමුදාව වන්නේ ඇන්ටිබොඩි ය. ඇන්ටිබොඩි සිරුරේ එසේත් නැතිනම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඉදිරිපෙළ සටන්කරුවන් ය. පැතජන්වලට එරෙහිව සටන් කරමින් ඔවුන් අඩපණ කරන්නේ මෙම කණ්ඩායමය.
කොරෝනා එන්නත් ගැන කතා කළොත්, එන්නත් නිපදවීම සිදුවන්නේ, කොවිඩ් 19 කොරෝනා වයිරසයේ (පැතජනය) ඉතාමත් පුංචි, දුර්වල කරන ලද, හානියක් කළ නොහැකි ආකාරයේ කොටසක් ඇසුරිනි.
මෙම කොටස ඇන්ටජන් එසේත් නැතිනම් ප්‍රතිදේහ ජනකයයි.
එන්නත සිරුරට ඇතුළත් කරද්දී, කොරෝනා වයිරස විෂබිජ සිරුරට ඇතුළු කරන්නේ නැත. එන්නතින් සිදුවන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පණ ගැන්වීමය.
ඇන්ටිබොඩි පුහුණු කිරීමය. ඉදිරියේ දී යම් දිනෙක කොරෝනා වයිරස විෂබීජ සිරුරට ඇතුළු වුවහොත්, සූදානම් කළ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති බැවින්, වයිරසය නිකම්ම අඩපණ වෙන්නේ ඔබ නොදැනුවත්වමය.
ඒ අනුව, කොවිඩ් 19 වයිරස වසංගතයෙන් මිදීමට නම්, අප එන්නත ලබා ගැනීම කළ යුතුය. කොරෝනා වයිරසය සහ එන්නත් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අප දැනුවත් කරන පුද්ගලයකු වන්නේ විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී රාජජපක්ෂ මහතාය. දැනට නිපදවා ඇති සහ භාවිතයට ගැනෙන එන්නත් ඔහු හදුන්වා දෙන්නේ මෙසේය.
1. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත
මෙය එංගලන්තයේ සොයා ගැනීමකි. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව ඇතුලු රටවල් කීපයක මව් ආයාතනයේ ශාඛා විද්‍යාගාරවල නිපදවයි. අප රටේ දැනට මේ එන්නත විදීම අරඹා ඇත. මිනිසා ට සුලු සෙම්ප්‍රතිශ්‍යා තත්වයක් සාදන චිම්පන්සීන්ට ලෙඩ දෙන වෛරසය කට කොවිඩ් වෛරසයේ බිත්තිවල ඇතිඋල්වල ඇති ප්‍රෝටීන කොටස් අලවා ඇත. මේ ප්‍රෝටීන් කොටස් ඇත්තෙන්ම අපේ සෛලවලට ඇලීමට වෛරසය පාවිච්චි කරන කොටසයි. මෙය ශරීරයට එන්නත් මාර්ගයෙන් ඇතුල් වුනු විට ප්‍රතිදේහ සෑදෙන්නේ ඒවාට විරුද්ධවයි. යම් දිනෙක නියම කොවිඩ් වෛරසය ඇතුළු වුනු දවසක අපේ එන්නත නිසා සෑදුනු ප්‍රතිදේහ ගොස් එම වෛරසය සෛලවලට ඇතුළුවීමට පෙර විනාශ කර දමයි. මාත්‍රා දෙකයි . ඒ අතර පරතරය සති 6-12 අතරයි.ගබඩා කර තැබීම සාමාන්‍ය ශීතකරණයක් තුළය. සාර්ථකබව 70%80% අතරයි.
2. මොඩර්නා එන්නත
ඇමරිකාවේ නිෂ්පාදනයකි. වෛරසයේ ම RNA කේතයක් යොදා ඇත. එනිසා වෛරසයටම විරුද්ධව ප්‍රතිදේහ සෑදේ. මාත්‍රා දෙකකි . ගබඩා කිරීම අධි ශීතකරණයක් තුළය. සාර්ථකබව 95%
3. ඇමරිකානු ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත
වෛරසයේ RNA යොදාගෙන ඇත.මාත්‍රා දෙකයි. පරතරය සති 4 කි. ගබඩා කර තැබීම සෙල්සියස් -80 සහ -60 අතර. එනිසා මෙවැනි ශීතකරණ අප රටේ හිඟයි. එනිසා අප ගෙන්වා නැත. සාර්ථක බව 95%
4. රුසියාවේ ස්පුට්නික් V - ගැමලියා
අපිට ලඟදිම ලැබෙන එන්නතකි. මෙයත් සුලු සෙම්ප්‍රතිශ්‍යා වෛරස දෙකක් වාහක ලෙස යොදා කොවිඩ් වෛරසයේ බිත්ති ප්‍රෝටීන් ඒවායේ අලවා එන්නත් මාත්‍රා දෙකක් ලෙස අපට ඇතුල් කරයි. එනිසා ඒවායෙන් සෑදෙන ප්‍රතිදේහ, නියම වෛරසය ආ විට එය විනාශ කර දමයි. දියර හා දියකර ගත හැකි කුඩු යන ආකාර දෙකෙන්ම නිපදවා ඇත. දියර ආකාරය ගබඩා කිරීම අධි ශීතකරණයක් තුලයි. කුඩු සාමාන්‍ය ශීතකරණයක් තුළය.
5. සිනොවැක් බයෝටෙක් හෙවත් සිනොෆාර්ම්
කොරෝනාවැක් එන්නත්. චීනයේ නිෂ්පාදිතයි. මෙහි ඇත්තේ සැර අඩු කල කොවිඩ්19 සාදන වෛරසයමයි. මාත්‍රා දෙකයි. ගබඩාකිරීම සාමාන්‍ය ශීතකරණයක් තුළය. සාර්ථක බව 91% බව පැවසේ.
6. නෝවාවැක්ස්
උල්වල ප්‍රෝටීන් අණු යොදා ගනී. මාත්‍රාදෙකයි. එංගලන්ත හා දකුණු අප්‍රිකානු ප්‍රභේද යන්ට විරුද්ධ ව ක්‍රියාකරයි.උල් වල ප්‍රෝටීන් වලට විරුද්ධව ප්‍රතිදේහ සාදයි. ගබඩා කිරීම සාමාන්‍ය ශීතකරණයක් තුලයි. සාර්ථක බව 89% කි. ඇමරිකානු එංගලන්ත නිෂ්පාදනය කි.
7. ජොන්සන් හා ජොන්සන්-ජැන්සීන් එන්නත
ඇමරිකානු නිෂ්පාදනයකි. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ක් තුළට කොවිඩ් වෛරසයේ හානිකර නොවන ලෙස සැකසූ RNA කේත ඇතුල් කර එන්නත් මාර්ගයෙන් අප ශරීරයේ ඇතුළට ලබාදෙයි. මාත්‍රා එකයි. ගබඩාව සාමාන්‍ය ශීතකරණයක් තුළයි. ලබාදී දින 28 කට පසු සාර්ථක බව 66% බවද දින 49 කට පසු 100 % බවද පැවසේ.