ජර්මනියට කැනඩාවට පනින්න හදලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 11, 2021

ජර්මනියට කැනඩාවට පනින්න හදලා

අන්සතු ගමන් බලපත්‍රයකින් සහ ව්‍යාජ වීසාවක් උපයෝගී කරගෙන ජර්මනියට සහ කැනඩාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

අන්සතු ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා යාමට ගුවන්තොටුපළ වෙත පැමිණි තැනැත්තා 35 හැවිරිදි චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

ව්‍යාජ ජර්මානු වීසා බලපත්‍රයක් සහිතව විදෙස් ගතවීමට පැමිණි 29 හැවිරිදි තරුණිය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර,ඇය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් එතැනින් ජර්මනියට පැනයෑමට සැලසුම් කර ඇත.  

මොවුන් දෙදෙනා අද උදෑ 12.19 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත්ව යාමට නියමිතව තිබූ ෆ්ලයි ඩුබායි ගුවන්සේවයට අයත් FZ 558 ගුවන් යානයට පිවිසීම සඳහා ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත. 

මොවුන් ෆ්ලයි ඩුබායි ගුවන් සේවා කවුළුව වෙත පැමිණ අවස්ථාවේ දී, ඔවුන් සතුව තිබූ ලියකියවිලි ගැන මතු වූ ගැ⁣ටලුවක් මත මෙම පුද්ගලයන් දෙදෙනා, එම ගුවන්සේවයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපළ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අයත් දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කරනු ලැබිණි. 

කැනඩාව වෙත යාමට තැත් කළ පුද්ගලයා සතු ගමන්බලපත වෙනත් අයකු සතු ගමන්බලපතක් බව දේශසීමා ආවේක්ෂණ ඒකකයෙහි නිලධාරීහු සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන්ගෙන් සහ අදාළ මගියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් තහවුරු කර ගත්තේ ය. 

ජර්මනිය බලා පිටත්ව යාමට පැමිණි කාන්තාව සතු වූ වීසා බලපත්‍රය ද කූඨ ලෙස තැනූවක් බව ද එම නිලධාරීන් සිදු කළ විමර්ශනයන්ගෙන් තහවුරු විය. 

තමන් නොහඳුනන තැරැව්කාරයකු මාර්ගයෙන් ව්‍යාජ වීසාව සටහන් කළ ගමන් බලපත තමාට මොරටුව ප්‍රදේශයේ දී ලැබුණු බවත් ඒ සඳහා ලක්ෂ 10 ක මුදලක් අදාළ තැරැව්කරු හට ගෙවූ බවත් එම කාන්තාව පවසා ඇත. 

 එම කාන්තාවගේ සැමියා ද ජර්මනියෙහි වෙසෙන බවත් ඔහු ද ව්‍යාජ නේවාසික වීසාවක් භාවිත කරමින් ජර්මනියට ඇතුළු වී එහි වාසය කරන බව දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් එම කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත්හ. 

අන්සතු ගමන් බලපත සහ ව්‍යාජ වීසාවන් පිළිබඳ විමර්ශන කටයුතු අවසන් කළ දේශසීමා ආවේක්ෂණ ඒකකයෙහි නිලධාරීන් විසින් එම සිදුවීම් සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම මගීන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දෙනු ලැබිණි.

ගුවන්තොටුපොළ
විශේෂ වාර්තාකරුවකුගෙනි

Classified_Ad

Classified_Ad_News_Bottom