ඇස් පනාපිට අතුරුදන් වූ මාරී මිනිසා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 7, 2021

ඇස් පනාපිට අතුරුදන් වූ මාරී මිනිසා

1998 ජූනි 26 වැනිදා, ඕස්ට්‍රේලියානු සුදු ජාතික කුලී ගුවන් යානා නියමු ටේ‍රවර් වයිට් සිය සැහැල්ලු කුඩා ගුවන් යානයෙන් දකුණු මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ‘මාරී’ නගරයේ සිට ‘කොබර් පැඩි’ නගරය තෙක් පියාසර කරමින් සිටියේය. ට්‍රෙවර් වයිට් ට මෙම ගුවන් ගමන අසීරු එකක් හෝ නුහුරු එකක් නොවිණි. 

ගුවන් මඟ වැටී තිබුණේ ෆිනිස් ස්ප්‍රින්ග්ස් සානුවට අසලිනි. මෙම සානුව පිහිටා ඇත්තේ ‘මාරී’ නගරයට කිලෝ මීටර් 60 ක් දුරිනි. සානුවේ ‘වුමේරා ප්‍රදේශය’ නමැති භූමි කලාපය ඕස්ට්‍රේලියානුවන්ට ‘අකැප’ තහනම් ප්‍රදේශයක් ලෙස ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබ්රොජිනල් ගෝත්‍රිකයන් නම් කර ඇත. 

ඊට ගරු කරමින් සුදු ජාතිකයන් මෙම තහනම් ප්‍රදේශයට පය තබන්නේ නැත. ඒත් එදා, සානුවට ඉහළින් පියාසර කිරීමට ට්‍රෙවර් ට සිතුණි. එසේ පියාසර කරද්දී, ගුවනේ සිට පහළ බලන විට ට්‍රෙවර් ට යමක් දිස්විය. ඒ, අති දැවැන්ත මිනිස් රුවක හැඩයකි. 

ට්‍රෙවර්  මවිත විය. ඔහු එම දැවැන්ත රූපයට ඉහළින් වට කිහිපයක් කැරැකී බැලුවේය. සැබැවින්ම එය මිනිස් රුවක් විය. 
මිනිස් රුයක් පහළ නිම්නයේ ඇති බව තමන් දුටුවැයි ට්‍රෙවර් ගුවන් යානයේ රේඩියෝවෙන් පාලන මැදිරියට දැනුම් දුන්නේය. එහෙත් මාරි නුවර කිසිවකු එය පිළිගත්තේ නැත. 

ට්‍රෙවර් විහිළුවක් කරනවා යැයි සිනහසුණා පමණි. මිනිස් රුව මුලින්ම සොයා ගත් අවස්ථාවේ සානුවේ දෙබොක්කාවක පිහිටි එම රූපය ඇඳි ස්ථානයට යා හැකිව තිබුණේ කුඩා මාර්ග දෙකකින් පමණි. 

ඇතුළු වීමට එක් මාර්ගයක් වූ අතර, අනෙක පිටවීමේ මාර්ගය විය. සානුවට පිවිසීම අතිශයින් දුෂ්කර කටයුත්තක් විය. සානුවේ සිට කිලෝ මීටර් 200 ක් පමණ දුරින් මාරී නගරයේ විලියම් ක්‍රීක් හෝටලයේ ෂෙන් ඇන්ඩර්සන්ට නිර්ණාමික ෆැක්ස් පණිවුඩයක් ලැබුණි. 

යෝධ මිනිසාගේ සිතුවම ඇති ස්ථානයේ පිහිටීම එම ෆැක්ස් පණිවුඩයට ඇතුළත් විය. එය ද විහිළුවක් යැයි සලකන ලදී. කෙසේ නමුත් බොහෝ දෙනාගේ උනන්දුවීම් නිසාත්, පුවත්පත්වලින් සහ රූපවාහිනී මාධ්‍යවලින් ලබා දුන් ප්‍රසිද්ධිය නිසාත් සානුවේ යෝධ මිනිස් රුව හැබෑවක් බව කාට කාටත් ආරංචි විය. 

1998 වසර අවසන් වෙද්දී, එම සානුව අයත් ප්‍රදේශය නීත්‍යාණුකූලව තම භාරයට ගැනීමට දකුණු ඕස්නුට්‍රේලියානු රජය කටයුතු කළේය. ඉන්පසු යෝධ මිනිසා නැරැඹීමට ගුවන් මගින් යෑමට අවසර හිමිවිය. 

2010 වෙද්දී, ෆෙඩරල් රජයේ අනුදැනුම යටතේ යෝධ මිනිස් රුව නැරැඹීම සංචාරක ආරක්ෂණයක් විය. 

බිම් මට්ටමින් බලද්දී නිකම්ම නිකම් රේඛාවක් ලෙස දිස්වන අහසේ සිට බලද්දී, කිලෝ මීටර් 4.2 ක් උස, කිලෝ මීටර් 28 ක් පුරා පැතිරුණු මේ මිනිස් රුව ‘මාරී මිනිසා’ එසේත් නැතිනම් ‘ස්ටුවට්ගේ යෝධයා’ යනුවෙන් නම් කෙරුණි. 

මෙම රූපයෙන් දැක්වෙන්නේ ඕස්නුට්‍රේලියාවේ ඇබ්රොජිනල් ආදිවාසියෙකි. ඔහු කුරුල්ලන් හෝ වෙනත් සතකු දඬයම් කිරීමට බූමරංගයක් විසි කිරීමට සැරැසෙන අයුරු සිතුවමෙන් නිර්මාණය වෙයි. මෙය සිතුවම් කළේ කවුරුද යන්න පවා අබිරහසකි. මෙම සිතුවම, නස්කා චිත්‍ර හා සමාන බව බොහෝ දෙනාගේ මතයයි. 
නස්කා චිත්‍ර මෙන්ම මෙම සිතුවම් ද ගුවනේ සිට පමණක් බැලූ විට සකස් කළේ කවුරුදැයි යන්න අබිරහසකි. නිර්ණාමික ෆැක්ස් පණිවුඩය එවූ තැනැත්තා කවුරුදැයි පසුව සොයා ගැනුණු අතර ඔහු ජෝන් මැක්ඩෝල් ස්ටුවට් නම් විය. මිනිස් සිතුවම ‘ස්ටුවට් යෝධයා’ යනුවෙන් නම් කෙරුණේ ඉන්පසුවය. 

මාරි මිනිසා වසර 17 ක් තිස්සේ අප කාටත් අබිරහසක් විය. කිලෝ මීටර් 28 ක් දිග ඒ අති විශාල මිනිස් රූපය අභ්‍යවකාශයේ සිට පවා දැක ගැනීමට හැකිවිය.

1998 දී ඇමෙරිකාවේ නාසා ආයතනය පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකාවලින් ‘මාරි මිනිසා’ගේ ඡායාරූප ලබා ගත්තේය. ඒත් අද වනවිට ‘ගූගල් අර්ත්’ හරහා චන්ද්‍රිකා තාක්ෂණයෙන් ‘මාරි මිනිසා’ නරඹන්න උත්සහ කළ අයට එම මිනිස් රුව දැක ගැනීමට නොහැකි වී තිබේ. 

‘මාරි මිනිසා’ අතුරුදන්ව ඇත. අභ්‍යවකාශයට පවා පැහැදිලිව පෙණුනු මේ නිර්මාණය අපේ ඇස් පනා පිටම පාංශු ඛාදනයට ලක් වීමෙන් අතුරුදන් වී ගොස් ඇත. 

චිත්‍රය සිතුවම් කළ ස්ථානයට ගොස් බැලුවහොත් සියයට 70 ක් පමණ තවමත් සිතුවමේ කොටස් දැකිය හැකි නමුත් සිතුවම මුළුමනින්ම විනාශ වී ඇතැයි ‘ද ඇඩ්වර්ටයිසර්’ පුවත්පත පසුගිය දා වාර්තා කළේය. 

බිම සිට බලද්දී දකින්න ලැබෙන රේඛා පවා තව වසර 10 ක් ගත වීමට පෙර මැකී යනු ඇතැයි විශේෂාංග ලිපියක් පළ කරමින් ‘ද ඇඩ්වර්ටයිසර්’ පුවත්පත අනාවරණය කර ඇත.

ඕස්ට්‍රේලියානු රජය පවසා ඇත්තේ, ‘මාරි මිනිසා’ගේ අබිරහස විසඳීමටත් පෙර, එය ලොවට අහිමි වීම කනගාටුවට කරුණක් කියාය. 

ඩේලිමේල් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom