![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpdXvRADNBpl0okdS2X_bObKTcOkwyphwQ9Pc46l1R1I4Cdz7CSxkrMjdGiwf1dSa9kuUSeAS7gQpoat7lf-aHKZ1CWm67SPt-OxhQjKt-pAnRSHGTM-fnCPT5kt1as-cW8OBGKtcpr3Il/s16000/Sadiman-2021-00.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRuZhh7ofKWd3iOauI0ovhbCt8nlV9m3r86wAwImNJ3UvQ_l6yPeUXSrva-CbFT6z8nRlRIJe-dkDIGctmJK7DQo5Fs-JVYPvOzg1J4UYTEujn4nbr9ctY0HVICKSDvbaqpqvLk1VW3KxS/s16000/Sadiman-2021-02.jpg)
ඉන්දුනීසියාවේ වියැළී ගිය කඳු මුදුන් සහිත පුළුල්ව පැතිරුණු මුඩුබිමක් හරිත කලාපයක් බවට පෙරැළීමට "සදිමාන්" ගත් උත්සාහය මුල් අවස්ථාවේ පටන් ගම්වැසියන්ගේ හාස්‍යයට ලක් විය.
ගත වූ කාලය අවුරුදු 24කි. තනි මිනිසකුගේ නො පසුබස්නා වීර්යයෙහි ප්‍රතිඵල දළුලමින් ඉන්දුනීසියාවේ පිහිටි එම මුඩුබිම් සහිත කඳු මුදුන් හරිත පැහැයෙන් බබළන්නට විය.
ගම්වැසියන් " ම්බා '' යන ඉන්දුනීසියානු ලෙංගතු වදනින් 69 හැවිරිදි සදිමාන් ඇමතූහ.
මධ්‍යම ජාවාහි පිහිටි කඳු මුදුන් සහිත වනගත භූමිය මීට දශක කිහිපයකට පෙර වැනසී ගියේ වගා කටයුතු සඳහා භාවිතයට ගැනීම හේතුවෙනි. වන විනාශය හමුවේ කඳු පන්තිය ආශ්‍රිත ගංගා සහ විල් සිඳී ගියේ ය.
වනය අහිමි වෙමින් පස වියළී යත්දී නුග පැල සිටුවා ජල උල්පත් රැකගත යුතු බවට තමාට හැඟුණු බව සදිමාන් පැවසීය.
එසේ නුග වෘක්ෂයන්ට මෙන් ම අත්තික්කා ශාඛවලට ජලය රඳවා ගැනීමේ ඉහළ හැකියාවක් සතු බව දත් සදිමාන් එම ශාඛ වියැකෙමින් පැවැති වන කලාපයෙහි සිටුවන්නට විය.
වසර 24 ක් පුරා අක්කර 617 භූමිභාගයක සදිමාන් සිට වූ නුග සහ අත්තික්කා පැළ ප්‍රමාණය 11,000කට අධික ය.
පාංශු ඛාදනයට ඍජුව නිරාවරණය වන එම කඳු සහිත භූමිය නායයෑම්වලින් ආරක්ෂා කර ගැනීමටත් ජල මූලාශ්‍ර සිඳී යා නො දී පවත්වා ගැනීමටත් එමගින් සදිමාන්ට හැකි විය.
සදිමාන්ගේ වෑයමෙහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ නව වන වැස්ම නිසා නව ජල උල්පත් හට ගත්තේ ය.
එම ජල උල්පත්වලින් පහත් බිම්වල පිහිටි ගොවිබිම් පෝෂණය විය. මුල් අවස්ථාවේදී සදිමාන්ගේ ක්‍රියාව අනුමත නො කළ ගැමියන් පසුව ඔහුව අගයන්නට වූහ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiaEPJ14NVz8TvbqijRBoDBRw8Dna80ykyFTdQ9N1AfmYoBhK9JMJWvzI3Ao-j3GQWe6ouio6EDs1Oql3iyXpEG8JPi905nh9yUAIZtHosVo-PX-Dcitn2gjgfpsh2FcmMHY5MqVltul8rq/s16000/Sadiman-2021-01.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2IgXJFfC06Rq7YfZjcxyIhzZFUJ6hjkFlbzTTWIWznylag-DKI-uvm50V7evOCsLhvsNiTwP8OfhEE4mA20CpKkB4eytVenhdFKPtAKx2qz76RSmLwK9UVKIzuJVNtKa3sREA6jFuEHxe/s16000/Sadiman-2021-03.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifC6DJLpDg-AgWj32x7L_C0lEnwI51Rg7tYUB7fbgdcYZIKFP4SVuo7fWOoCjjZPZ0RfyMWZokTb00W0M0kmDYuWgF1PkCJHMz13_KDBTUm5jNVgZ9PV9XtNZNGbYNiBx1EtXT2AZ4sioO/s16000/Sadiman-2021-04.jpg)
"ගමේ අය මට මුලදී විහිළු කළා. නුග ගස් සිටවන්න එපා කිව්ව. නුග ගස්වල මිය ගිය ආත්ම හැංගිලා ඉන්නව කියල ඒ අය විශ්වාස කළා. " සදිමාන් කීය.
වන වගාව ආරම්භ කළ මුල් අවස්ථාවේදී සදිමාන් උමතු වූවෙකු ලෙස ගැමියන් සැලකූ නමුත් පිරිසිදු ජලය ගම්මාන කිහිපයකට ලබාදෙමින් ඔහු කළ සත්ක්‍රියාව ගැන තමන් සතුටට පත්වන බව ගැමියකු වන වාටු පවසයි.
ජල මූලාශ්‍රවල හිඟකම නිසා වසරකට එක් වතාවක් පමණක් අස්වනු නෙළූ ගම්වාසීන් දැන් වසරකට කිහිප වතාවක් සරු අස්වනු නෙළා ගනුයේ සදිමාන්ගේ වන වගාව නිසා පෝෂණය වූ විධිමත් ජල සම්පාදනය නිසාවෙනි.
සදිමාන් ගැන සවිස්තර සටහනක් ඉදිරිපත් කළ බීබීසී මාධ්‍ය ජාලය ඔහුව හඳුන්වා තිබුණේ " පරිසර රණශූරයකු" වශයෙනි.
"
දැන් මිනිස්සුන්ට වගා කටයුතු සිදු කරගෙන සතුටින් ජීවත් වෙන්න පුලුවනි. ආයෙත් කැලය කපා ගිනිතියන්න ඕන වෙන්නෙ නැහැ." යැයි සදිමාන් කීවේ සොම්නස පිරි මදහසක් සමඟ ය.
෴සංජය නිල්රුවන් ගුණසේකර
( බී.බී.සී. ඇසුරිනි )