Justice League - Snyder Cut ආවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 18, 2021

Justice League - Snyder Cut ආවා

සිනමාලෝලීන්, විශේෂයෙන් DC සුපිරි වීරයන්ට ආදරේ සිනමාලෝලීන් පුලපුලා බලා සිටි අධ්‍යක්ෂ සැක් ස්නයිඩර්ගේ ජස්ටිස්ලීග් චිත්‍රපටය Zack Snyder's Justice League අද (18) HBO Max හරහා විකාශය කිරීම ආරම්භ විය. Zack Snyder's Justice League පැය 4 ක ධාවන කාලයකින් යුක්තය.

අයන්මෑන්, තෝර්, හල්ක්, ස්පයිඩර් මෑන් ආදී මාවල් වීරයන් ඇසුරින් සිනමා නිර්මාණ බිහිවෙද්දී සහ එම නිර්මාණ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවද්දී, 2013 වසරේ,  DC චිත්‍රකතා සුපිරි වීරයන්ගේ වික්‍රම සිනමාවට ගෙන ඒමට මැදිහත් වූයේ හොලිවුඩ් අධ්‍යක්ෂ සැක් ස්නයිඩර් සහ වෝනර් බ්‍රදර්ස් චිත්‍රාගාරයයි. 

මාවල් ඇවෙන්ජර්ස් වීරයන් සේම, DC සුපිරි වීරයන්ගේ එකමුතුව වන 'ජස්ටිස් ලීග්' චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය කිරීම ස්නයිඩර්ගේ අරමුණ වී තිබුණි. වෝනර් සමාගමේ අනුමැතිය ද ඊට හිමිවිය.

එම අරමුණ කරා යන ගමනේ දී පෙරමඟ සකස් කිරීමක් ලෙස පළමුවෙන් ස්නයිඩර්, 2013 වසරේ දී  'මෑන් ඔෆ් ස්ටීල්' නමින් සුපර්මෑන් චිත්‍රපටය එළිදැක්විණි. හෙන්රි කැවල් සුපර්මෑන් සහ ක්ලාක් කෙන්ට් ලෙස කරළියට පැමිණියේ එම චිත්‍රපටයෙනි. 
2016 දී සුපර්මෑන්ට අමතරව බැට්මෑන් සහ වොන්ඩර් වුමන් චරිත සිනමාවට ගෙන ඒමට ස්නයිඩර් සමත් වූයේ 'බැට්මෑන් වර්සස් සුපර් මෑන්' චිත්‍රපටයෙනි. ප්‍රවීණ නළුවකු මෙන්ම දක්ෂ අධ්‍යක්ෂකවරයකු ද වන බෙන් ඇෆ්ලික්, බැට්මෑන් සහ බෲස් වේන්ගේ චරිතයට පණ පෙවීම ඒ අනුව ආරම්භ විය. 

 වොන්ඩර් වුමන් ලෙස හොලිවුඩයට නවකයකු වූ ගැල් ගැඩොට් එක් විය. ඊශ්‍රායල සුරූපිනියක වන ගැඩොට්, මීට පෙර ජනප්‍රිය වී සිටියේ 2009 වසරේ තිරගත වුණු 'ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්' චිත්‍රපටයෙනි. වොන්ඩර් වුමන් ලෙස ගැල් ගැඩොට් එක රැයින් ජනප්‍රිය විය.
'බැට්මෑන් වර්සස් සුපර් මෑන්' චිත්‍රපටය අවසන් වන්නේ සුපර්මෑන්ගේ මරණයත් සමඟය. 'බැට්මෑන් වර්සස් සුපර් මෑන්' චිත්‍රපටයේ සම්පූර්ණ නම වන්නේ 'බැට්මෑන් වර්සස් සුපර් මෑන්: ඩෝන් ඔෆ් ජස්ටිස්' යන්නය. ඒ, ජස්ටිස් ලීග් චිත්‍රපටයට පිවිසුමක් වශයෙනි. 

 ස්නයිඩර්, 'ජස්ටිස් ලීග්' චිත්‍රපටය නිර්මාණය කළේ, චිත්‍රපට ත්‍රිත්වයක් ලෙසිනි. වෙනත් ලොවකින් පැමිණෙන ඩාක් සයිඩ් නපුරා සහ ඔහුගේ හමුදා පෘථිවිය ආක්‍රමණය, යළි පණ ලබන සුපර්මෑන්, ලොයිස් ලෙන් මියයෑම නිසා ඩාක් සයිඩ්ගේ අතකොළුවක් වීම, ඩාක් සයිඩ් පෘථිවිය ආක්‍රමණය කිරීමෙන් පසු, දිවි බේරාගෙන ඉතිරි වන බැට්මෑන් ඇතුළු වීරයන් සහ පසුව ඔවුන්ට එක් වන සුපර්මෑන් ඩාර්ක් සයිඩ් පරාජය කිරීම යන කතා තේමාවන් මෙම චිත්‍රපට 3 ට ඇතුළත් කිරීම ස්නයිඩර්ගේ අදහස වී තිබුණි. තිරපිටපත් පවා ලියා සියල්ල සැලැසුම් කර තිබුණි.
කෙසේ නමුත් අවාසනාවකට, 'ජස්ටිස් ලීග්' චිත්‍රපටය රූගත වෙද්දී, ස්නයිඩර්ගේ තරුණ දියණිය අකාලයේ මියගියාය. දියණියගේ හදිසි වියෝව, ස්නයිඩර් ට දරාගත නොහැකි වූ බැවින්, ඔහු 'ජස්ටිස් ලීග්' නිර්මාණ කටයුතුවලින් ඉවත් විය. ඒ වනවිටත් චිත්‍රපටයේ වැඩ සියයට 90 ක් පමණ අවසන් වී තිබුණි. 

ස්නයිඩර්ගේ අඩුව පුරවමින්, චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට, වොනර් සමාගම හවුල් කර ගත්තේ මාවල් ඇවෙන්ජර්ස් චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ජනප්‍රිය වී සිටි ජොස් වීඩන් ය. 

අසම්පූර්ණ 'ජස්ටිස් ලීග්' චිත්‍රපටය ජොස් වීඩන් ඔහුට රිසි ලෙස වෙනස් කළේ, රූගත කිරීම් නැවත සිදු කරමිණි.

සුපර්මෑන්ගේ චරිතය නිරූපණය කළ හෙන්රි කැවල් මේ වනවිට මිෂන් 'ඉම්පොසිබල්: ෆෝල් අවුට්' චිත්‍රපටයට රංගනයෙන් එක් වී සිටියේ කොන්ත්‍රාත්තුවකට අත්සන් තබමිනි. 

ඒ අනුව, ඔහුට ඔහුගේ උඩු රුවුල ඉවත් කළ නොහැකි වී තිබුණි. සුපර්මෑන්ට උඩු රැවුලක් නොමැති හෙයින්, යළි රූගත කිරීම් සිදු කරද්දී කැවල්ගේ උඩු රැවුල පරිගණක තාක්ෂණයෙන් මකා දැමීමට වීඩන් තීරණය කළේය. එය සාර්ථක නොවුණු අතර චිත්‍රපටය නැරැඹූ සැමට සුපර්මෑන්ගේ මුහුණේ අසාමාන්‍ය ස්වභාවයක් දැනෙන්න විය. 
අවසානයේ 2017 වසරේ තිරගත වුණු 'ජස්ටිස් ලීග්' චිත්‍රපටය, DC සුපිරි වීරයන්ට ආදරේ සිනමාලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කළේය. පැය දෙකකට වැඩි ධාවන කාලයකට ස්නයිඩර් නිර්මාණය කළ චිත්‍රපටය පැය දෙකකට සීමා වී තිබුණි. 

චිත්‍රපටය ඉපැයූ ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 658 ක් පමණක් විය. චිත්‍රපටය අසාර්ථක වූ අතර විචාරකයන්ගෙන් පවා දෝෂාරෝපණ එල්ල විය. 2017 'ජස්ටිස් ලීග්' චිත්‍රපටය ස්නයිඩර්ගේ දැක්මට අනුව නිර්මාණය නොවන බව තහවුරු වෙද්දී, ස්නයිඩර්ගේ ජස්ටිස් ලීග් චිත්‍රපටය නැරැඹීමට අවශ්‍ය යැයි DC සිනමා ලෝලීන් හඩ නගන්න වූයේ සමාජ මාධ්‍ය ඔස්සේය. 

එහි ප්‍රතිඵලයක් ලෙස වසර 4 කට පසු අද (18) Zack Snyder's Justice League චිත්‍රපටය පැය 4 ක ධාවන කාලයක් ද සහිතව HBO Max හරහා විකාශය කෙරේ. සිනමාලෝලීන්ගේ ඉල්ලීම මත, ඔවුන් සතුටු කිරීමට චිත්‍රපටයක් යළි ප්‍රති නිර්මාණය වූ පළමු අවස්ථාව මෙය වෙයි. 

2017 මුල් 'ජස්ටිස් ලීග්' චිත්‍රපටයට අහිමි වුණු, රූගත කර තිබුණු දසුන් මෙම Zack Snyder's Justice League චිත්‍රපටයට ඇතුළත් කර ඇති අතර, ජොස් වීඩන් එක් කර තිබුණු සියලු දසුන් ඉවත් කර තිබේ. 

පරිගණකවලින් නිර්මාණය කළ චරිත සහ දසුන් වෙනස් කර තිබේ. එපමණක් නොව, චිත්‍රපටයේ අලුත් චරිත පවා දකින්න ලැබේ. 

තමන්ගේ 'ජස්ටිස් ලීග්' චිත්‍රපටය, DC සිනමා ලෝලීන් සෑහීමකට පත් කරනු ඇතැයි තමන්ය විශ්වාස බව ස්නයිඩර් පවසා තිබේ. Zack Snyder's Justice League චිත්‍රපටයට ප්‍රතිනිර්මාණය කිරීමට වෝනර් සමාගම තීරණය කළේ 2019 වසරේදීය. අමතර ඩොලර් මිලියන 30 ක මුදලක් ද ප්‍රතිනිර්මාණ කටයුතු සඳහා වැය කර තිබේ. 

෴ ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom