අහස අහිමි කුරුල්ලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 28, 2021

අහස අහිමි කුරුල්ලා

සාගරයේ ජීවිතය මුළුමනින්ම බැහැරකොට, ගොඩබිමට පැමිණි ජීවින් සිටිනවා සේම, ගොඩබිම සිට සාරයට ගොස්, සාගරය තම නිවහන කරගත් අහස අහිමි කුරුල්ලෙක් සිටී. පියඹා යෑමට නොහැකි නිසාම, එය අඩුපාඩුවක් කර නොගෙන සාගරය නිවහන කරගත් මේ කුරුල්ලා, සාගරය පමණක් නොව ගොඩබිම ද ජයගත් විස්මිත සත්වයෙකි. පියඹා යෑමට නොහැකි වුණත් පිහිනීමට අති දක්ෂයකු වන මේ කුරුල්ලා පෙන්ගුවීන්ය. 

පෙන්ගුවින් ‘අවල් කුරුල්ලා’ යනුවෙන් සිංහල බසින් හැඳින්වෙයි. ඒ, පෙන්ගුවීන්ට පියාපත් නොමැති නිසාත්, පියාපත් වෙනුවට ඇත්තේ පිහිනීමට කදිම අවල්පත් නිසාත්ය. සාගරයේ ජීවිතයට හැඩ ගැසෙන අයුරින්, පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස, පෙන්ගුවීන්ගේ පියාපත් අවල්පත් බවට පරිවර්තනය වී ඇත. රළ අතරින් ඉහළට පනිමින්, පිහිනා යමින්, දිය යට කිමිදෙමින් මසුන් දඩයම් කිරිමට පෙන්ගුවීන් කුරුල්ලෝ ශූරයෝය. මොවුහු ජීවිතයෙන් වැඩි කොටසක් සාගරයේ ගත කරති. පෙන්ගුවීන්ගේ සිරුරේ ද පිහිටා ඇත. ඒවා පියඹා යෑමට හැකි පිහාටු නොවෙයි. ඒවා පිහිනීමටත්, සාගරයේ ජීවත්වීමටත් සුදුසු අයුරින් නිර්මාණය වූ පිහාටුය. දක්ෂිණධ්‍රැවයේ සීතලෙන් සහ සීතල සාගරයෙන් ඔවුන් උණුසුම් කිරීමට පෙන්ගුවීන්ගේ සිරුරේ ඇති මෙම සුවිශේෂී ‘පිහාටු ඇඳුම’ උපකාරී වෙයි. ඒත්, කොතරම් කාලයක් සාගරයේ ගත කළත්, වසරකට වරක් පෙන්ගුවීන් කුරුල්ලන්ට මුහුදු වෙරළට පැමිණීමට සිදුවෙයි. 

රාජකීයයෝ 
‘දකුණු ජෝර්ජියාව’, ඇන්ටාක්ටිකාවට නුදුරින් පිහිටා ඇති, ජීවීන්ගෙන් පිරුණු කුඩා දුපතකි. හුදෙකලා දූපතක් ලෙස සැලකෙන මෙම දූපත එසේ හුදෙකලා අයුරින් තබා ගැනීමටත් රැකබලා ගැනීමටත් බලධාරීහු මැදිහත් වී සිටිති. හැම ග්‍රීස්ම කාලයේම, මෙම දූපත වටා ඇති වෙරළ තීරය ජීවීන්ගෙන් පිරෙයි. එය මිහිමත වඩාත් කාර්ය බහුල තැනක් බවට පරිවර්තනය වෙයි. දස දහස් ගණනින් රාජකීය පෙන්ගුවීන් කුරුල්ලෝ මෙහි පැමිණෙති. රාජකිය පෙන්ගුවීන් යන නමින් මෙම පෙන්ගුවීන් විශේෂය හැඳින්වෙන්නේ මොවුන්ගේ ආඩම්බරකාර උඩඟු පෙනුම නිසාය. මෙම පෙන්ගුවීන්ලාට ඇත්තේ සෘජු සිරුරකි. උදාර බවක් එසේත් නැතිනම් කිසියම් රාජකීයයන්ගේ ස්වරූපයක් මෙම පෙන්ගුවීන්ට ආරූඪවී ඇති බවත් පෙනෙයි. මෙම පෙන්ගුවීන් විශේෂය අනෙක් පෙන්ගුවීන්ලාට වඩා ප්‍රමාණයෙන් ද විශාලය. මුහුදේ රළ අතරින් වෙරළට පැමිණෙන රාජකීය පෙන්ගුවීන් රංචුව සෙමින් සෙමින් වෙරළ දිගේ ඇදෙන්නේ, වෙරළට මදක් ඔබ්බෙන් පිහිටා ඇති ඔවුන්ගේ කොලනිය එසේත් නැතිනම් ජනපදයට යෑමටය. 

ඇත් නීවගයෝ 
ජනපදය බලා යන පෙන්ගුවීන් කණ්ඩායමට බාධාවකි. තෙල් තට්ටුවලින් සහ මස් පර්වතවලින් බාධාවකි. මුහුදු වෙරළේ ඔවුන් සහ ඔවුන්ගේ ජනපදය අතරේ යෝධ තාප්පයක් ලෙස, දැවැන්ත එලිෆන්ට් සීල් රංචුවක් පැතිර සිටී. එලිෆන්ට් සීල් ක්ෂීරපායියෙකි. ‘සීල්’ සිංහල බසින් හැඳින්වෙන්නේ ‘නීවගයා’ යනුවෙනි. එලිෆන්ට් සීල් හැඳින්වෙන්නේ ‘ඇත් නීවගයා’ යන නමිනි. එලිෆන්ට් සීල් යනු උතුරු ඇමෙරිකාවේ බටහිර වෙරළේ සහ දක්ෂිණධ්‍රැවය ආශ්‍රිතව අභිජනනය කරන දැවැන්තයෙකි. යෝධ සිරුරුවලින් සමන්විත මෙම සත්වයන් ඝෝෂාකාරීය. ප්‍රචණ්ඩකාරීය. සීල්ගේ නාසය අසාමාන්‍ය ලෙස විශාලය. එය හොඬවැල් කැබැල්ලක් සේ පහළට එල්ලී ඇත. එලිෆන්ට් සීල් යනුවෙන් මොවුන් හැඳින්වෙන්නේ එහෙයිනි. මේ ඇත් නීවගයන් වර්ගයා බෝ කරන කාලයයි. ටොන් හතරකට වඩා බරින් වැඩි යෝධ පිරිමි සත්වයෝ, සෙම පෙරාගෙන, තම තමන්ගේ සහකාරියන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එකිනෙකා සමඟ සටන් වදිමින් පොර බදති. සපා කා ගනිති. තුවාල කර ගනිති.
සන්සුන් වෙනකල් 
මුහුදු වෙරළට පැමිණ සිටින, රාජකිය පෙන්ගුවීන් කණ්ඩායමට ඉදිරියට යෑමට, වෙරළේ වැතිරී සිටින, සියගණනකගෙන් සමන්විත එලිෆන්ට් සීල් රංචුව බාධකයකි. පෙන්ගුවීන් රංචුව කෙසේ හෝ මේ බාධකය මඟ හැර, ඔවුන් පසු කර ඉදිරියට යා යුතුව ඇත. කළ හැකි හොඳම දේ, මදකිපී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දැවැන්තයන් සන්සුන්වනතෙක් බලා සිටීමය. එක පොදියට වැතිරී සිටින එලිෆන්ට් සීල් සතුන්ගේ සිරුරුවලට ඉහළින් පියඹා යෑමට පෙන්ගුවීන්ට කළ නොහැකිය. එහෙයින්, සුදුසු අවස්ථාව උදා වනතුරු පෙන්ගුවීන් සිටී. 

සෙමින් ඉදිරියට
බිහිසුණු පොර බැදීමකින් පසු, එලිෆට් සීල් යෝධ පිරිමි සතුන් දෙදෙනෙකු සන්සුන් වෙයි. ඔවුන් අසල වැතිරගත් ගැහැනු සතුන් නිදිය. පොර බැදීමෙන් පසු ලේ පෙරාගත්, සෙම පෙරාගත් පිරිමි සතුන් දෙදෙනා ද සන්සුන් වෙයි. පරාජය වුණු පිරිමි සතා බඩ ගා පැත්තකට ගොස් වැතිරී නිදා ගනී. ජයග්‍රහණය කළ පිරිමි සතා උගේ සහකාරියන් අසලට වී නින්දට වැටෙයි. පෙන්ගුවින් රංචුවට සුදුසු අවස්ථාව උදා වෙයි. දැන් කළ යුත්තේ නිද්‍රාගත යෝධයින් අසලින් සෙමින් සෙමින් ඉදිරියට යෑමය. එය බොහොම සීරුවෙන් කළ යුතු වැඩකි. ප්‍රචණ්ඩ සීල් සතුන්ගෙන් පෙන්ගුවීන්ට හිරිහැර කරදර එල්ලවීමේ අවදානමක් පවතී. එක පෙළට පෙන්ගුවීන් සෙමින් සෙමින් පාද තබමින් ගමන අරඹයි. ප්‍රවේසමෙන් ඉදිරියට යා යුතුය. පෙන්ගුවින් සෙමින් සෙමින් ඉදිරියට යයි. 
සටනක් 
මහ හඬින් ගොරවමින් නිදා සිටින සීල් රංචු කිහිපයක් පසු කරමින් පෙන්ගුවීන් පෝලිම ඉදිරියට ගමන් කරමින් සිටී. පෙන්ගුවීන්ලා කිහිප දෙනකු සීල් සතුන්ගේ සිරුරේ ස්පර්ශ වෙයි. කෙඳිරිගාමින් සීල් අවදිවෙයි. ගැටලුවක් නැත. සියුම් ගෙරවුමක් පිට කරමින් යළි නින්දට වැටෙයි. තව ටිකක් ඉදිරියට යද්දී, යෝධ සීල් පිරිමි සතුන් පොර ඇල්ලීමට සූදානම් වී සිටින බව පෙනෙයි. ඌ පොර අල්ලන්න සූදානම් වන සීල් දැවැත්තයා බඩ ගාගෙන සිරුර පන්නමින් වේගයෙන් එයි. පෙන්ගුවින් කණ්ඩායම සිටින්නේ අතර මැදය. යෝධයන් දෙදෙනා එකිනෙකා සමඟ ගැටුණොත් පෙන්ගුවීන්ලාට තුවාල වීමට ඉඩ ඇත. පෙන්ගුවීන් පය ඉක්මන් කරයි. යෝධ එලිෆන්ට් සීල් පිරිමි සතුන් දෙදෙනා එකිනෙකා සමඟ ගැටෙයි. එය බිහිසුණු පොර බැඳීමකි. මහ හඬක් පිට කරමින්, ගොරවා ගනිමින් ටොන් අටක මහා මස් පර්වත ගැටෙන්නේ එකිනෙකාට තුවාල කර ගනිමිනි. අත්දැකීම් බහුල වැඩිමල් පිරිමි සත්වයාට ජය හිමිවෙයි. ඔහුට අභියෝගයක් කරමින් සටනට ආ තරුණ පිරිමි සීල් සෙමින් පසුබසී. පරිනත පිරිමි සත්වයා සහකාරියන් අතරට ගොස් බිහිසුණු ගෙරවුමක් කරමින්, ජයග්‍රහණය තහවුරු කරයි. 

පෙන්ගුවීන් ජනපදය
සටන මෙසේ සිදුවෙද්දී, පෙන්ගුවීන්ලා, සීල් රංචුව පසුකර ගොස් අවසන්ය. පෙන්ගුවීන් කිසිදු බාධාවකින් තොරව ඔවුන්ගේ ජනපදය කරා ළඟා වෙයි. ජනපදයේ පෙන්ගුවීන් පැටවු 40,000 කට වැඩිය සිටිති. වැඩෙන තුරු පෙන්ගුවීන් පැටවුන් දුඹුරු පැහැයක් ගනී. ඔවුන් මා පියන් තරමටම ප්‍රමාණයෙන් විශාලය. එසේ වුවත් ඔවුන් තවම කුඩා පැටවුන්ය. සාගරයේ සිටින පෙන්ගුවීන් අම්මලා සහ තාත්තලා පැටවුන්ට කෑම ගෙනත් ඇත. අම්මලා කෑම සොයද්දී, පැටවුන්ගේ ආරක්ෂාවට සහ තනි නොතනියට සිටින්නේ පෙන්ගුවීන් තාත්තලාය. තාත්තා නැති වෙලාවට පැටවු මව් තුරුළේය. කුසගින්නේ සිටින පැටවුන් ක්‍රියාශීලීය. පැටවු කෑම ලැබෙනකල් මුවඅයාගෙන සිටිති.

වේදනාකාරී අත්දැකීම 
පෙන්ගුවීන් ජනපදයට පැමිණෙන හැම පෙන්ගුවීන් කෙනකුටම කෑම දී ලොකු මහත් කිරීමට පැටවකු නැත. ඇතැම් රාජකීය පෙන්ගුවීන්ලා මෙම ජනපදයට පැමිණෙන්නේ සුවිශේෂී පමණක් නොව, වේදනාකාරී අත්දැකීමකට මුහුණ දීමටය. එම අත්දැකීමට සූදානමින් පෙන්ගුවීන් සිය ගණනක්, ජනපදයට ඔබ්බෙන් එක්තරා හුදෙකලා භූමියකට රොක් වෙයි. සෑම පෙන්ගුවීන් කෙනකුම මෙම වේදනාකාරී මෙන්ම ‘දරා ගැනීමේ’ අත්දැකීමට මුහුණ දී එය සමත් විය යුතුය. එය ඔවුන්ගේ ජීවිතයේ කොටසකි. එය ඇරැඹෙන්නේ පුංචි කැසීමකිනි. එම කැසීම පෙන්ගුවීන්ගේ සිරුර පුරා දුවයි. කැසීමත් සමඟ පෙන්ගුවීන්, උගේ පුංචි පිහාටු එකිනෙක ගලවා දැමීම අරඹයි. පිහාටු ගලවා ඉවත් කිරීම වේදනාකාරීය. කොතරම් වේදනාකාරී වුවත් පෙන්ගුවීන් පිහාටු සේරම ඇද ගලවයි. 
අපූරු ඇඳුමක් 
පෙන්ගුවීන්ලාගේ සිරුරු වටා ඇති ‘පිහාටු ඇඳුම’, ඔවුන්ගේ දිවි රැක ගැනීමට උදව් වන ආවරණයයි. ජලයේ සිටියත්, පෙන්ගුවීන්ගේ පිහාටු තෙතබරි වෙන්නේ නැත. එය සැකැසී ඇත්තේ ජලය උරා නොගන්නා අයුරිනි. මාස ගණනාවක් සාගරයේ ප්‍රචණ්ඩ රළ අතරින් පිහිනා යෑමෙන් පසු එම පිහාටු ඇඳුම වියැකී ගොසිනි. පිහාටු ගලවා දමමින් පෙන්ගුවීන් ඇඳුම ඉවත් කරයි. වේදනාකාරී ක්‍රියාවලියක් වුවත් එය කළ යුතු වෙයි. පෙන්ගුවීන්ලාගේ සිරුර වටා පිහාටු ස්ථර හතරකි. මෙම ස්ථර හතරම ඉවත් කිරීම කඩිනමින් කළ යුතුය. පිහාටු ඉක්මනින් වර්ධනය වෙයි. කෙසේ නමුත් පිහාටු වර්ධනය වනතුරු පෙන්ගුවීන්ලා මෙම ස්ථානයේ රැඳී සිටිය යුතු වෙයි. පෙන්ගුවීන් එකම තැනට වී නිසොල්මනේ ගුලි වී සිටී. කිසිදු ආහාරයක් නොගෙන මාසයක් නිසොල්මනේ එකම ඉරියව්වකින් සිටී. මාසයක් යද්දී, අලුත් පිහාටු වර්ධනය වෙයි. කහ සුදු සහ කළු වර්ණගත් අපූරු ඇඳුම් කට්ටලය යළි අලුත් වෙයි. දැන් යළි සාගරයේ වික්‍රමවල නියැලීමට අවස්ථාව ලැබේ. මාසයක් නිරාහාරව සිටි පෙන්ගුවීන්ලාට දැන් කුසගිනි දැනෙයි. අලුත් පිහාටුවලින් යුතු සිරුරු නිසා රාජකීය පෙන්ගුවීන්ලා දැන් තවත් ආඩම්බරය. 


ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන
BBC Planet Earth II ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom