ඉන්දියාවේ වැඩිහිටියන් සැමට අද සිට එන්නත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 1, 2021

ඉන්දියාවේ වැඩිහිටියන් සැමට අද සිට එන්නත්

ඉන්දියාවේ අවුරුදු 18 වැඩි සියලු දෙනාට අද (1) සිට 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබේ. 

ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරියේය. එය අදියර කීපයක් යටතේ ආරම්භ වුණු අතර කොරෝනා ආසාදිතයන් ඉහළ යෑමට පටන් ගත් බැවින්, පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට 45 ට වැඩි සෑම ඉන්දියානුවකුටම එන්නත් ලබා දීම ආරම්භ කෙරුණි. 

පසුගිය ජනවාරියේ ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහන යටතේ මෙතෙක් එන්නත් ලැබී ඇත්තේ ඉන්දියාවේ සියයට 4 කට පමණි. 

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ඉන්දියාවේ පූනේ නුවර සේරම් ආයතනයේ නිෂ්පාදනය කෙරෙන්නේ 'කොවිෂීල්ඩ්' යන නමිනි. ඉන්දියානුවන් වැඩි දෙනකුට ලැබුණේ මෙම එන්නතය. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 'වැක්සීන් මෛත්‍රී' එන්නත් වැඩදටහන යටතේ අසල්වැසි ආසියානු රටවලට ප්‍රදානය කළේ ද මෙම එන්නතය. ඊට අමතරව ආසියානු රටවල් කීපයක් සහ අප්‍රිකා රටවල් ඉන්දියාවෙන් මෙම 'කොවිෂීල්ඩ්' එන්නත ආනයනය කළේය. 

කෙසේ නමුත් ඉන්දියාව තුළ ආසාදිතයන් ඉහවහා යද්දී, ඉන්දියාවේ නිෂ්පාදනය කරන ප්‍රතිශක්තිකරණ එන්නත් අපනයනය නැවැත්වීමට ඉන්දීය රජය තීරණය කළේය. ඒ අනුව, මේ වනවිට 'කොවිෂීල්ඩ්' එන්නත ලැබෙන්නේ ඉන්දියානුවන්ට පමණි. ඉන්දියානුවන්ට ලැබෙන දෙවැනි එන්නත වන්නේ ඉන්දිායවේ 'භාරත් බයෝටෙක්' ආයතනයේ 'කොවැක්සින්' එන්නතය. 

මේ වනවිට ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් ලක්ෂ තුනේ සීමාව පසුකරමින් වාර්තා වේ. ප්‍රධාන නගරවල රෝහල් සියල්ල කොරෝනා රෝගීන්ගෙන් පිරී, ඔක්සිජන් නොමැතිවීමෙන් එම රෝගීන් දැඩි අපහසුතාවට පත් වෙද්දී, එරට කොරෝනා මරණ ලක්ෂ දෙක පසු කර තිබේ. 

ඉන්දියාවේ පැතිර යන කොරෝනා ද්විත්ව විකෘතිය ආසාදනය වැළැක්වීමට එරට භාරත් බයෝටෙක් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති 'කොවැක්සින්' එන්නතට හැකියාව ඇතැයි පර්යේෂකයෝ පවසති. 'කොවැක්සින්' සියයට සියයක් ඉන්දීය තාක්ෂණය භාවිතයට ගනිමින් නිපදවා ඇති කොරෝනා ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නතකි. 

මෙම එන්නතට අඩපණ කළ හැකි යැයි පැවැසෙන්නේ බී 1.617 නමැති වයිරස විකෘති ප්‍රභේදයයි. මේ වනවිට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට මැති ඇමැතිවරුන් ලබාගෙන ඇත්තේ ද මෙම 'කොවැක්සින්' ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙම 'කොවැක්සින්' එන්නත ලබා ගත් ඉන්දියානුවන් බොහෝ දෙනකුට කොරෝනා ආසාදනය වී නොමැති බව ද පැවැසෙයි. 

කොරෝනා ආසාදිතයකු වූ නමුත්, ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන 88 හැවිරිදි මන්මෝහන් සිං අසාධ්‍ය තත්ත්වයකට පත් නොවී සුවය ලැබීමට හේතුවක් වූයේ ද ඔහු මෙම 'කොවැක්සින්' එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන සිටි නිසා යැයි වෛද්‍යවරු පැහැදිලි කරති.

NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom