අපේ කථන හැකියාව අඩු වෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Oct 10, 2026

අපේ කථන හැකියාව අඩු වෙලා

පසුගිය දශක කීපයේ අපේ කථන හැකියාව, එසේත් නැතිනම් වචන භාවිතය, ඉතා වේගයෙන් අඩු වී ඇතැයි කීවොත් ඔබ එය පිළිගන්නවාද? ඔව්, ඒක ඇත්ත. ඊට හේතුව අප දිනෙන් දින වඩවඩාත්, අපේ ස්මාට් ෆෝන් ජංගම දුරකතනවලට ඇබ්බැහිවීම යැයි ඇමෙරිකන් විද්‍යාඥයන් පිරිසක් කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත. 

එම පර්යේෂණයෙන් අනාවරණය වූයේ මනුෂ්‍ය අපේ දෛනික වාචික වචන භාවිතය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවත්, ඉදිරියේ දී තාක්ෂණයේ දියුණුවත් සමග එය දිගින් දිගටම පහළ යනු ඇති බවත්ය. පර්යේෂකයන් මෙසේ පවසන්නේ, 2,000 කට වැඩි පිරිසක් (මොවුන් ඇමෙරිකානුවන්ය.) සම්බන්ධ කර ගනිමින් කළ අධ්‍යයනයක ප්‍රතිඵල අනුවය. 

එම අධ්‍යයනයට අනුව, ගෙවී ගිය සෑම වසරක් පාසාම, පුද්ගලයකු දිනකට පවසන වචන ප්‍රමාණය ආසන්න වශයෙන් 300කින් පමණ අඩුවී ඇත. එම කාලසීමාව තුළ සමස්ත වචන භාවිතය, ආසන්න වශයෙන් සියයට 28 කින් පහළ යෑමක් ලෙස සැලකෙයි. මෙම අඩුවීම වඩාත් තදින්ම දක්නට ලැබී ඇත්තේ වයස අවුරුදු 25 ට අඩු තරුණ පරම්පරාව අතර වීම විශේෂත්වයකි. 
අලුත් පරම්පරාව, ස්මාර්ට්ෆෝන් හරහා සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ඩිජිටල් සන්නිවේදනයට යොමු වීමත්,   තාක්ෂණයේ දියුණුව සමග අප දෛනික අන්තර්ක්‍රියා පරිවර්තනයකට ලක් වීම මෙම අධ්‍යයනයෙන් පැහැදිලිව තහවුරු වී ඇත. මුහුණට මුහුණ කතාබහ වෙනුවට, කෙටි පණිවිඩ සහ ඩිජිටල් අවකාශය හරහා (සමාජ මාධ්‍ය ආදිය) අදහස් හුවමාරු කරගැනීම ඉහළ ගොස් ඇත. 

මනුෂ්‍ය අප අතරේ අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වා ගැනීමට කතාබහ මූලික අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින්, දිනෙන් දින වෙනස් වන ඩිජිටල් ලෝකය තුළ අපේ සාම්ප්‍රදායික සංවාද ක්‍රම අඩුවීම සමාජීය සබඳතාවලට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ඉදිරියේදී පුළුල් අවධානයක් යොමු කළ යුතුව ඇතැයි අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන්ගේ අදහසය. මෙම අධ්‍යයනයට අමතරව, මෑත කාලීන සමාජ හා තාක්ෂණික විමර්ශන මඟින් අනාවරණය වී ඇත්තේ මිනිසුන්ගේ සන්නිවේදන රටාවන්හි මූලික හා පුළුල් වෙනසක් සිදුවෙමින් පවතින බවය. 

සාම්ප්‍රදායිකව දුරකථන ඇමතුම් හරහා හෝ සජීවීව කතා කරමින් සිදුකළ බොහෝ කටයුතු අද වන විට ඩිජිටල් පණිවිඩ සහ සටහන් වෙත සම්පූර්ණයෙන්ම ම මාරු වී අවසන්ය. වට්ස්ඇප්, මැසෙන්ජර් වැනි පණිවිඩ හුවමාරු යෙදවුම් සහ විවිධ සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන අන්තර්ක්‍රියා හේතුවෙන්, අපට දිගු වාචික සංවාදවල නිරත වීමට ඇති අවශ්‍යතාව දිනෙන් දින අඩුවී ඇත. 

හඬ පට (Voice notes) යැවීම පවා සම්පූර්ණ වාචික සංවාදයකට වඩා වෙනස් ස්වරූපයක් ගන්නේ, එයට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ පීඩනයක් නොමැති බැවිනි. වාචිකව අදහස් හුවමාරු කරගැනීමේදී හඬේ ස්වරය, මුහුණේ ඉරියව් සහ හැඟීම් වඩාත් පැහැදිලිව සංවේදනය වන අතර, එය ගැඹුරු මානව සබඳතා සහ අනුකම්පාව ගොඩනඟා ගැනීමට බෙහෙවින් උපකාරී වේ. 

එහෙත්, ඩිජිටල් මාධ්‍ය හරහා සන්නිවේදනය කිරීමේදී ඒ කිසිවක් සිදුවන්නේ නැත. මානව හැඟීම් හඳුනාගැනීමට ඇති හැකියාවට සෙමින් අඩුවී යන බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසය. අර්ථවත් කතාබහට යම් ඉඩක් ඉතිරි කර ගැනීම, අප මානසික සෞඛ්‍යයට මෙන්ම සමාජ සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමටත් අතිශයින්ම වැදගත් වන බව මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙති.   

ලුසිත ජයමාන්න 
Live Science ඇසුරිනි

Classified_Ad