සල්මාන් මරන්න හදන බිෂ්නෝයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Oct 21, 2026

සල්මාන් මරන්න හදන බිෂ්නෝයි

හින්දියෙන් ‘බායි’ යනු සහෝදරයාය. බොලිවුඩ් සිනමාවේ ‘බායි’ යනු සල්මාන් ඛාන්ය. සල්මාන්‌ගේ රසික රසිකාවියකන් සහ සිනමා කර්මාන්තයේ කවුරු කවුරුත් ආදරය සහ ගෞරවය පෙන්වමින්, සල්මාන් ආමන්ත්‍රණය කරන්නේ ‘බායි’ යන නමිනි. සල්මාන්, ප්‍රධාන නළුවකු ලෙස රංගනයට පිවිසියේ, 1989 වසරේ දී තිරගත වූ සූරජ් බර්ජාටියා අධ්‍යක්ෂණය කළ ‘මේන් ප්‍යාර් කියා ’චිත්‍රපටයෙනි. ඒ වන විට සල්මාන්ට අවුරුදු 22 කි. 

අද, සල්මාන්ගේ වයස අවුරුදු 60 කි. සල්මාන් මේ වනවිට බරපතල ස්නායු රෝග තත්ත්ව කිහිපයකින් පීඩා විඳී. 1998 වසරේ ඔක්තෝබරයේ, සල්මාන් සිටියේ රාජස්ථානයේ ජෝද්පූර් නුවරය. ඒ, ‘හම් සාත් සාත් හෙයිං’ චිත්‍රපටයේ රූගත කිරීම්වල නියැළෙමිනි. සුපිරි නළු නිළි කැලක් මෙම චිත්‍රපටයට සම්බන්ධ වූහ. සයිෆ් අලී ඛාන්, කරිෂ්මා කපූර්, තාබු ඒ අතර වූහ. 

1998 ඔක්තෝබර් 1 වැනිදා සහ 2 වැනිදා රාත්‍රියේ, සල්මාන්, ජෝද්පූර් නුවරට නුදුරින්, කන්කනි ගම්මානයට ඔබ්බෙන් වනාන්තරයේ විනෝදය සඳහා දඩයමේ ගියේය. ඒ, ප්‍රදේශයේ තරුණයන් පිරිසක් ද සමගය. සල්මාන් වෙඩි තබා බ්ලැක්-බක් ගෝනුන් දෙදෙනකු සහ චින්කාරා මුවන් කීප දෙනකු මරා දැමීය. 

බ්ලැක්-බක් නැතහොත් ‘කළු ගෝනා’ ඇන්ටිලොප් වර්ගයට අයත්ය. මෙම සතුන් වඳවී යෑමේ තර්ජනයට ලක්ව සිටින අතර, ඉන්දියාවේ, 1972 වනජීවී ආරක්ෂණ පනතේ පළමු උපලේඛනයට ද ඇතුළත්ය. 
බ්ලැක්-බක් දඩයම් කිරීම; මරා දැමීම බරපතල අපරාධයකි. සල්මාන් ඛාන් එම අපරාධය කළේය. මරා දැමූ බ්ලැක්-බක් ඇන්ටිලෝපයන් දෙදෙනා ද සමග සල්මාන් ඛාන් පොලිසියට හසුවිය. එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නඩු කිහිපයක් ගොනු කෙරුණු අතර, ඒවා වසර 20කට අධික කාලයක් විභාග විය.

සල්මාන් සමග සිටි බව කියමින් සයිෆ් අලී ඛාන්, කරිෂ්මා කපූර්, තාබුට ද චෝදනා එල්ල වූ නමුත්, ඔවුන් එම සියලු චෝදනාවලින් නිදහස් වූයේ, ඔවුන් දඩයමට එක් වුණු බව ඔප්පු කළ නොහැකි වූ බැවිනි. චින්කාරා මුවන් මරා දැමීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවෙන්, 2016 දී සල්මාන් නිදහස් විය. ඒ, ප්‍රමාණවත් සාක්ෂි නොමැති වූ බැවිනි. 

බ්ලැක්-බක් ගෝනුන් මරා දැමීම සම්බන්ධයෙන් වූ ප්‍රධාන නඩුව අඛණ්ඩව විභාග විය. 2018 අප්‍රේල් 5 වැනිදා ජෝද්පුර් මහ අධිකරණය සල්මාන් ඛාන් වැරදිකරු යැයි තීන්දු කරනු ලැබුණි. ඔහුට වසර 5ක සිර දඬුවමක් සහ ඉන්දීය රුපියල් 10,000 ක දඩයක් නියම කරන ලදී. දින කිහිපයක් ජෝද්පූර් මධ්‍යම බන්ධනාගාරයේ ගත කිරීමෙන් පසු, ඇප අයැදුම්පතක් මත සල්මාන්ට ඇප හිමි විය. බ්ලැක්-බක් ගෝනුන් මරා දැමීම, චෝදනාවලට වරදකරු වීම සහ ඇප ලබා නිදහස් වීම සල්මාන්ගේ ජීවිතය උඩුයටිකුරු කළේය. 

සල්මාන්ට ඇප දීම බිෂ්නෝයි ප්‍රජාවේ දැඩි විරෝධයට හේතුවක් විය. බිෂ්නෝයි ප්‍රජාවට අයත් බව කියන ප්‍රකට අපරාධකරු ලෝරන්ස් බිෂ්නෝයි ප්‍රකාශ කළේ, සල්මාන් තම පූජනීය සතුන් මැරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවය. ඒත් සල්මාන් එසේ කළේ නැත. පසුගිය වසර ගණනාව තිස්සේ සල්මාන් මරා දැමීමට ලෝරන්ස් බිෂ්නෝයිගේ අපරාධ කල්ලිය උත්සාහ ගනිමින් සිටී. අදත් සල්මාන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් හිමිවෙයි. 
ලෝරන්ස් බිෂ්නෝයි

ලෝරන්ස් බිෂ්නෝයි වර්තමානයේ ඉන්දියාවේ වැඩිම කතාබහට ලක්වන, එරට ප්‍රබලතම සහ වඩාත්ම භයානක අපරාධ කල්ලි නායකයෙකි. මොහු දැනට අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවේ බන්ධනාගාරගතව (විශේෂයෙන්ම ගුජරාටයේ සහ දිල්ලි බන්ධනාගාරවල) සිටිමින් සිය අපරාධ ජාලය මෙහෙයවීම සිදු කරන බව ද පැවැසෙයි. ලෝරන්ස් බිෂ්නෝයි උපන්නේ 1993 වසරේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේය. ලෝරන්ස් බිෂ්නෝයි විශ්ව විද්‍යාල උපාධිධරයෙකි. නීතිය සම්බන්ධයෙන් ද උපාධියක් ඇත. අද වන විට ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය, පැහැර ගැනීම්, කප්පම් ගැනීම් ආදියට ද සම්බන්ධ වී සිටී. 

 බිෂ්නෝයි ප්‍රජාව යනු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ සහ තාර් කාන්තාරය ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන, සොබාදහම, ගස්වැල් සහ සතුන් දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට කැපවුණු වැසියන් පිරිසකි. බිෂ්නෝයි යන නම, හින්දි-රාජස්ථාන භාෂාවලට අනුව, විෂ් (විසි) සහ නෝයි (නවය) යන වචන දෙක එකතු වීමෙන් සෑදී ඇත.

1485 වසරේ දී මෙම ප්‍රජාව ආරම්භ කරන ලද්දේ ජම්භෝජි ලෙස හැඳින්වෙන ආගමික නායකයා විසිනි. ඔහු දැඩි නියඟයකට සහ පාරිසරික විනාශයකට මුහුණ දී සිටි සිය ජනතාවට, ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා දැඩි සදාචාරාත්මක නීති රීති 29 ක් ලබා දුන් අතර, ඒවා පිළිගත් අනුගාමිකයන්, බිෂ්නෝයිවරුන් (29 නීති අනුගමනය කරන්නන්) ලෙස හැඳින්වෙයි. 

බිෂ්නෝයි ප්‍රජාව සහ එම ගම්මාන අද්දර වනාන්තරේ සතුන් එකිනෙකා ගැන විශ්වාසයකින් බැඳී ජීවත් වන බව පැවැසෙයි. බ්ලැක්-බක් යනු බිෂ්නෝයි ප්‍රජාවට පූජනීය සත්වයකු වැනිය. විශේෂයෙන්ම බිෂ්නෝයි කාන්තාවෝ (මවුවරුන්) දඩයක්කරුවන් විසින් මරා දමන ලද හෝ මව් සෙනෙහස අහිමි වූ අලුත උපන් බ්ලැක්බක් මුව පැටවුන්ට තමන්ගේ මව්කිරි දී පෝෂණය කරමින් ආරක්ෂා කරති. මෙවැනි දෙයක් මිහිපිට වෙන කිසිදු තැනක සිදුවන්නේ නැත. 

ඉකුත් 18 වැනිදා, වර්තමාන බොලිවුඩ් සිනමාවේ සුපිරි තරුවක වන ටයිගර් ෂෙරොෆ් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ටයිගර්, ඉන් දිවි ගලවා ගත්තේය. ඒත්, ඔහුගේ රියදුරා වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. වෙඩික්කරු ටයිගර්ට තුවක්කුව එල්ල කරමින් කොකා ගැස්සීමට යද්දී, තුවක්කුව නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. පලා ගිය වෙඩික්කරු සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කරමින් තමන් ලෝරන්ස් බිෂ්නෝයිගේ කල්ලි සාමාජිකයකු බව පැවැසීය. 
ටයිගර්, ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ ඉලක්කය වූයේ, ඔහු සල්මාන් ඛාන් සමග හිතවත්කම් පැවැත්වීම යැයි චෝදනා නැගුණි. ටයිගර් ෂෙරොෆ් සහ සල්මාන් ඛාන් එකට චිත්‍රපටවල රඟපා නැත. ඒත් සමීප මිත්‍රත්වයක් පවතී. 

ටයිගර්, සල්මාන් මෙන්ම ජනප්‍රිය ප්‍රවීණ නළු ජැකී ෂෙරොෆ්ගේ පුත්‍රයාය. මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් විකාශය වන ‘ජේලර් 2’ චිත්‍රපටයේ ද ජැකී ෂෙරොෆ්ගේ රංගනය දැකිය හැක. 

අතීතයේ, ජැකී ෂෙරොෆ් සහ සල්මාන් ඛාන් එකට බොලිවුඩ් නිර්මාණවලට දායක විය. ටයිගර්, රංගනයට පිවිසියේ පියා ජැකී ෂෙරොෆ්ගේ මඟ පෙන්වීමෙන් නොව, සල්මාන්ගේ මඟ පෙන්වීමෙන් බව පැවැසෙයි. මේ වන විට ටයිගර්ට ද විශේෂ ආරක්ෂාවක් යෙදවීමට මුම්බායි පොලිසිය කටයුතු කර තිබේ. 

ලුසිත ජයමාන්න 
NDTV ඇසුරිනි

Classified_Ad