ශ්‍රී ලංකාවට හොරෙන් එන්න හදලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 2, 2021

ශ්‍රී ලංකාවට හොරෙන් එන්න හදලා

කූඨ ලෙස තැනූ මෙක්සිකන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ ලෙබනන ජාතිකයකු ඊයේ (1) උදෑසන කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

ඊයේ (1) උදෑසන 8.50ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 650 ගුවන්යානයෙන් එම පුද්ගලයා පැමිණ ඇත. 

සංචාරක වීසා බලපත්‍රයක් සහිතව පැමිණි ඔහු ගුවන්තොටුපළ ආගමන හා විගමන කවුළුව වෙත පැමිණ එහි රාජකාරියේ නියුතු නිලධාරීවරයා වෙත නිෂ්කාශන කටයුතු සඳහා මෙක්සිකන් ජාතික ගමන් බලපතක් ඉදිරිපත් කර ඇත. 

ආගමන හා විගමන නිලධාරීවරයා එම ගමන් බලපත පරීක්ෂා කර නිශ්කාශනය කරන අවස්ථාවේදී අදාළ ගමන් බලපත්‍රය ජාත්‍යන්තර පොලිසියේ දත්ත පද්ධතියෙන් නවතා ඇති බවට තොරතුරු හෙළි විය. 

ඒ සමඟම අදාළ පුද්ගලයා මූලික විමර්ශන කටයුතු සඳහා රාජකාරියේ නියුතු ප්‍රධාන ආගමන හා විගමන නිලධාරී වෙත යොමු කෙරිණි. 

පසුව එම පුද්ගලයාගේ ගමන් මල්ල පරීක්ෂා කරන ලද අතර එහි තිබී ලෙබනන ජාතික ගමන් බලපත්‍රයක් සොයා ගැනීමට විමර්ශන කටයුතු මෙහෙයවූ ආගමන හා විගමන නිලධාරීන් හට හැකි විය.

සංචාරයක් සඳහා තමන් මෙරටට පැමිණි බව එම පුද්ගලයා පවසා ඇති අතර තමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ලෙබනන ජාතිකයකු බව ද පවසා ඇත. 

ආගමන හා විගමන කවුළුව වෙත මගියා ඉදිරිපත් කළ මෙක්සිකානු ජාතික ගමන්බලපත නිරීක්ෂණයේදී මතු වූ ගැටලුවක් මත එය වැඩිදුර විමර්ශනය සඳහා ගුවන්තොටුපළ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අයත් දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කිරීමට ප්‍රධාන ආගමන හා විගමන නිලධාරීවරයා කටයුතු කළේය. 

 එම මගියා සතු වූ ලෙබනන ජාතික ගමන් බලපත්‍රයෙහි යුරෝපා, උතුරු ඇමෙරිකා අග්නිදිග ආසියානු, දකුණු ආසියා ඇතුළු ලෝකයේ සෑම කලාපයකම රටවල වලංගු වීසාවන් සටහන්ව ඇති බවට ද නිරීක්ෂණය විය.

ලෙබනන ජාතික ගමන් බලපත්‍රයක් එම මගියා සතුව තිබුණ ද මෙක්සිකානු ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කර ගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන නිලධාරීන් ප්‍රශ්න කර ඇත. 

ලෙබනන ජාතික ගමන්බලපත භාවිතයෙන් රටවලට සංචාරය කිරීමේදී සෑම විටම වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවක් පැනනගින හෙයින් එම දුෂ්කරතාවයෙන් මිදී සංචාරය කළ හැකි මාර්ගයක් ගැන තම මිතුරන්ගෙන් විමසූ බව එම මගියා පවසා ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ලෙබනන ජාතිකයකු වන මොහු එරට සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙක් බව ද අනාවරණය විය. 

අනතුරුව උතුරු ඇමෙරිකාව, කැනඩාව, එක්සත් ජනපදය සහ ලොව බොහෝ රටවලට පූර්ව වීසා අවශ්‍යතාවයෙන් තොරව පහසුවෙන් ගමන් කළ හැකි මෙක්සිකන් ගමන් බලපත්‍රයක් ලබා ගන්නා ලෙස මිතුරන් ඔහුට උපදෙස් දී ඇති බව ලෙබනන ජාතික එම මගියා පවසා ඇත. 

ඒ අනුව එක්සත් අරාබි එමීර් ඩිරාම් 50,000 ක් (ලක්ෂ 32) වැය කර මෙක්සිකානු ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇත. ඒ අතර, පුද්ගලයකුගේ තොරතුරු අන්තර්ගත නො වූ හිස් මෙක්සිකන් ගමන් බලපතකට ලෙබනන ජාතිකයාගේ තොරතුරු ඇතුළත් කර මගියා සතු මෙක්සිකානු ගමන් බලපත්‍රය සකස් කර ඇති බව තහවුරු කර ගැනීමට ⁣දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට හැකි විය. 

 මෙක්සිකන් රජයේ විදේශ ගමන් බලපත් නිකුත් කරන ආයතනයෙන් එම හිස් ගමන් බලපත්‍රය සොරකම් කර ඇත. එම මගියා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව කූඨ ලෙස තැනූ මෙක්සිකන් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණි බවට තහවුරු කර ගත් එම මගියා නැවතත් පැමිණි ගුවන් යානයෙන් ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත හරවා යැවීමට ගුවන්තොටුපළ ආගමන හා විගමන නිලධාරීන් කටයුතු කළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom