
මැතිවරණ රාජකාරීවලට යෙදවීමෙන් පසු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය ගුරුවරුන් ගණන 1,621 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රාථමික ගුරුවරුන්ගේ වෘත්තීය සංගමයක් පසුගිය 16 වැනිදා අනාවරණය කළේය.
උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ පන්චායත් මැතිවරණ රාජකාරිවලට යෙදවූ ගුරුවරුන් මෙලෙස නව කොරෝනා වයිරස ආසාදනය වීමෙන් සහ විවිධ රෝගී තත්ත්ව උත්සන්න වීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
පන්චායත් යනු ගම් සභා වැන්නකි.
අසනීප තත්ත්වලින් පසුවන ගුරුවරුන් සහ කාර්යමණ්ඩල මැතිවරණ රාජකාරිවලට යොදානොගන්නා බවට ප්‍රාන්ත මහ ඇමැතිවරයා මැයි 1 වැනිදා පොරොන්දුවක් දුන් නමුත් අසනීප තත්ත්ව හේතුවෙන් ඡන්දය ගණන් කිරීමේ සහ ඊට අදාළ කටයුතුවලට නොපැමිණි ගුරුවරුන්ගේ වැටුප් සහ ගෙවීම් කපා හැරීමටත් ඇතැම් පහසුකම් අත්හිටුවීමටත් ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇතැයි ද එම ගුරු සංගමය චෝදනා කරයි.
වසංගත සමයේ මැතිවරණ රාජකාරිවල යෙදී සිටීමෙන් මියගිය ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවල ගුරුවරුන්ගේ සහ කාර්යමණ්ඩලවල සාමාජිකයන්ගේ ගණන 1,621ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ‘ප්‍රාථමික් ෂිශාක් සංග්’ ප්‍රාථමික ගුරුවරුන්ගේ වෘත්තීය සංගමයේ සභාපති දිනේෂ් චන්ද්‍රා ෂර්මා ඉකුත් දා පැවැසීය.
මෙම වෘත්තීය සංගමය මරණයට පත් පුද්ගලයන් 1,621 දෙනකුගේ තොරතුරු ඉකුත් දිනෙක ප්‍රසිද්ධියට පත් කළේය.
මියගිය ගුරුවරුන් අතරින් හදවත් රෝග ඇති බොහෝ දෙනා මියගොස් ඇත්තේ “ආතතිය” හෝ හෘදයාබාධ ඇතිවීමෙන් යැයි ද ගුරු වෘත්තීය සංගමයේ සභාපතිවරයා කීය.
පන්චායත් මැතිවරණවලදී දිස්ත්‍රික් පරිපාලනය සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කර නැතැයි ද හෙතෙම කීය.
මෙම මැතිවරණවලදී බලධාරීන් අවම සෞඛ්‍ය පිළිවෙත් හෝ පිළිපැද නැතැයි ‘ද හින්දු’ පුවත්පත මැයි මස 2 වැනිදා වාර්තා කර තිබිණි.
“ඊටත් වඩා කනගාටුදායක දෙයක් තියෙනවා. මෙච්චර ජීවිත හානි වුණාටත් පස්සේ, දිස්ත්‍රික්කවල සිටින පරිපාලන නිලධාරීන් ප්‍රාථමික අංශවල ගුරුවරුන්ට හිරිහැර කරනවා” යැයි ද හෙතෙම කීය.
ඇතැම් දිස්ත්‍රික්කවල ගුරුවරුන්ට නිවෙස්වල සිට රාජකාරී කිරීමට අවසර දුන්න ද උනානෝ, රා බරෙලි, ලක්නව්, බස්ති, බන්ඩා සහ හර්දෝයි යන දිස්ත්‍රික්කවල සිටින ගුරුවරුන් ‘කොවිඩ්-19 පාලන මැදිරිවල රාජකාරිවලට කැඳවා ඇතැයි ද හෙතෙම කීවේය. ඔවුන්ට ජීවිතයත් මරණයත් අතර සටනක් කිරීමට සිදුව ඇතැයි ද ඔහු කීය.
මැතිවරණ රාජකාරිවලදී මියගිය ගුරුවරුන් සහ කාර්යමණ්ඩලවල සියලු දෙනාට ඉන්දීය රුපියල් කෝටියක වන්දියක් ගෙවිය යුතු යැයි ද මෙම ගුරු වෘත්තීය සංගමය අවධාරණය කළේය.
එමෙන්ම මියගිය, රාජකාරියට නොපැමිණි සියලු දෙනා ඇතුළුව ගුරුවරුන් සහ කාර්යමණ්ඩලවල සාමාජිකයන්ට එරෙහිව පනවා තිබෙන දඬුවම් ක්‍රියාමාර්ග සියල්ල ඉවත් කරන්නැයි ආණ්ඩුව බල කරන බව ද එම සංගමය ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අලහාබාද් මහාධිකරණය මැයි 11 වැනිදා නඩු තීන්දුවක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර පන්චායත් මැතිවරණ අතරවාරයේදී මියගිය සියලු නිලධාරීන්ට ඉන්දීය රුපියල් කෝටියක වන්දියක් දෙන්නැයි එහිදි නියෝග කර ඇත.
කෙසේ නමුත් ගුරුවරුන් ඇතුළු රාජකාරි අතර මියගිය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 30 මුදලක් ලබාදිය හැකි බව ප්‍රාන්ත රජය අධිකරණයට දැනුම් දී ඇත.
“මෙය කවුරුන් හෝ මැතිවරණයකදී ස්වේච්ඡාවෙන් සේවය ලබාදුන් අවස්ථාවක් නෙවෙයි. තමන් රාජකාරියට පැමිණීමට අකැමැත්ත ප්‍රකාශ කර තිබියදීත් රාජකාරියට පැමිණීම අනිවාර්ය කරන ලද අවස්ථාවක්. ඒ නිසා අදාළ වන්දි මුදල ප්‍රමාණවත් නැහැ අපගේ මතය” යැයි ඉහත කී තීන්දුවට සහ ප්‍රාන්ත රජයේ දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින් විනිසුරුවරු වන සිද්ධාර්ථ වර්මා සහ අජිත් කුමාර් මැයි 11 වැනිදා ප්‍රකාශ කළහ.
NDTV