එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වසර 12 යි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 18, 2021

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වසර 12 යි

වසර 30 කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) 12 වසරක් සපිරෙයි. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්, විරෝධාර රණවිරුවන් අතින් මරණයට පත්වීමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය අවසන් විය.

ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනීමේ ගෞරවය හිමි කර ගැනීමට අප ආරක්ෂක අංශ සමත් වූයේ ඒ සමඟය.

මානුෂීය මෙහෙයුම සඳහා නායකත්වය දුන් එවකට ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේ අග්‍රාමාත්‍යවරයා ලෙසත්, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙසත් වර්තමානයේ කටයුතු කිරීම විශේෂත්වයකි. 

එමෙන්ම යුද හමුදාවේ සේනාංකාධිපතිවරුන් ලෙස කටයුතු කරමින් මානුෂීය මෙහෙයුමේ පෙරමුණේ සිටි ජෙනරාල් කමල් ගුණරත්න මහතා වත්මන් ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

එවකට සේනාංක භාරව කටයුතු කළ මෙන්ම යුද ජයග්‍රහණය සඳහා සෘජුව දායකත්වය ලබාදුන් ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානීන් ද මේ වනවිටත් මෙරට සිවිල් ජන ජීවිතය ක්‍රමානුකූලව පවත්වාගෙන යෑම සඳහා වත්මන් රජයට සහයෝගය ලබාදෙමින් කටයුතු කිරීම විශේෂත්වයකි. 

මානුෂීය මෙහෙයුම අතරවාරයේදී විරෝධාර රණවිරුවන්ගේ ජීවිත රැසක් මාතෘ භුමියට අහිමි වුණි. තවත් බොහෝ පිරිසක් ආබාධ තත්ත්වයට පත් වූහ.

 "ශ්‍රී ලාංකීය ජනතාවට යහපත් හෙට දිනයක් උදා කරලීමේ උත්තරීතර කාර්යය වෙනුවෙන් දිවි පිදූ සහ තාරුණ්‍ය කැප කළ සියලුම විරෝධාර රණවිරුවන් හදවතින්ම අදවන් දිනක සිහිපත් කළ යුතුව තිබෙනවා," යැයි 12 වැනි යුද සැමරුම පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබේ.

ඡායාරූපය - 
ලහිරු හර්ෂණ - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom