ඉන්දීය විකෘතිය නේපාලයේ පැතිරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 9, 2021

ඉන්දීය විකෘතිය නේපාලයේ පැතිරේ

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය උත්සන්න කිරීමට හේතු වූ ද්විත්ව කොරෝනා විකෘතිය, ඉන්දියාවේ අසල්වැසියකු වන නේපාලයට ද ව්‍යාප්ත වී ඇති අතර, මේ වනවිට දිනපතා නේපාලයෙන් ආසාදිතයන් 8,000 ත් 9,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වේ. 

ආසාදිතයන් වාර්තා වීම ක්‍රමාණුකූලව සිදු නොවන බවත්, සැබෑ ආසාදිතයන් ගණන දෛනිකව 10,000 සීමාව පසු කරන බවත් නේපාල සෞඛ්‍ය අංශ පවසා තිබේ. නේපාලය තවත් ඉන්දියාවක් වී, මළසිරුරු ගොඩගැසීමට පටන් ගන්නා දිනය වැඩි ඈතක නොවේ යැයි නේපාල සෞඛ්‍ය අංශ බිය පළ කරයි. 

ඉන්දියාවේ පැතිරෙන කොරෝනා විකෘතිය, වඩා ඉක්මනින් ව්‍යාප්තවීම සිදුවන හෙයින්, රෝගීන් ගණන දිනපතා ඉහළ යන බව ද නේපාල සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. මෙම විකෘති කොරෝනා වැඩි බලපෑමක් එල්ල වන්නේ තරුණ ප්‍රජාවට යැයි ද පැවැසෙයි. 

ඊයේ (8) වනවිට නේපාලයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 3,85,890 ක් තෙක් ඉහළ ගියේය. මරණ වාර්තා වූයේ 3,632 ක් ලෙසය. 

සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් සියයට 44 ක් ම කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ද පැවැසෙයි. නේපාලයේ ජනගහනය මිලියන 30 ක් වන අතර, නේපාල එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් ලබා දී ඇත්තේ මිලියන 2.4 කට පමණි. එයින් ද එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇත්තේ ඉතාමත් සුළු පිරිසක් බව ද පැවැසෙයි. 

නේපාලයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ වූයේ පසුගිය ජනවාරියේය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ සංකල්පයකට අනුව, 'වැක්සින් මෛත්‍රී' වැඩසටහන හරහා නේපාලයට 'ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත් ලැබීමෙන් පසුවය. 

ආසාදිතයන් වැඩි වීමත් සමඟ රෝහල් පිරී යෑමට පටන්ගෙන ඇති බවත්, ඔක්සිජන් හිඟයක් ද පවතින බවත් නේපාල සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. නේපාලයට ආධාර අවශ්‍ය යැයි අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් ද කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom