බිම්බෝම්බ සොයන යෝධ මීයා විශ්‍රාම යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 6, 2021

බිම්බෝම්බ සොයන යෝධ මීයා විශ්‍රාම යයි

බිම් බෝම්බ සොයා දුන් යෝධ මීයා විශ්‍රාම යයි බිම් බෝම්බ සොයා දී, ජීවිත රැසක් බේරා ගැනීමට සමත් වූ, වීර පදක්කම් කීපයකින් ද පිදුම් ලැබූ 'මගාවා' නමැති යෝධ අප්‍රිකානු මීයා විශ්‍රාම යෑමට සූදානම් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 

බිම් බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට, මනා සේ පුහුණුව ලැබූ 'මගාවා' සිය සේවය ලබා දෙන්නේ කාම්බෝජ රජයය සහ එරට හමුදාවටය. 'මගාවා' වසර පහක් තිස්සේ කාම්බෝජයේ රැදී සිටින අතර, සිය සේවා කාලය තුළ වර්ග මීටර් 2,25,000 ක් පුරා ඉව අල්ලා සෝදිසි කර, පුපුරා නොගිය බිම් බෝම්බ 71 ක් සහ පුපුරන ද්‍රව්‍ය 38 ක් සොයා ගැනීමට දායක වී ඇත. 

'මගාවා'ගේ නිජබිම ටැන්සානියාවය. 'මගාවා' උපත ලබා ඇත්තේ, 2014 වසරේදීය. වසර කීපයක පුහුණුවකින් පසු 'මගාවා' කාම්බෝජයේ බිම් බෝම්බ සෙවීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට කටයුතු කර ඇත්තේ 2016 වසරේදීය. 'මගාවා' පුහුණු කළේත්, ඔහු කාම්බෝජයේ බිම් බෝම්බ සෙවීමට යෙදවූයේත් බෙල්ජියමේ 'අපෝපෝ' පුණ්‍ය ආයතනයයි. 

''මගාවා කළේ ලොකු මෙහෙවරක්. ජීවිත රැක ගනිමින්, ජීවිත අනතුරේ නොදමා එයා බිම් බෝම්බ සොයා දුන්නා. පුපුරන දුව්‍ය සොයා දුන්නා. දැන් එයාට වෙහෙසයි. එයාගේ සේවය අප සදා අගය කරනවා. දැන් එයා විශ්‍රාම යන්න කාලය ඇවිල්ලා'' යැයි කාම්බෝජයේ බිම්බෝම්බ සෙවීමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටින 'අපෝපෝ' පුණ්‍ය ආයතනයේ මිෂෙල් හෙයිමන් ඒ.එෆ්.පී. පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පැවැසීය. 

'මගාවා' බිම් බෝම්බ සොයා මෙහෙයුම් කළේ නිරිතදිග කාම්බෝජයේ සියෙම් රීප් පළාතේය. ලෝ සුප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අන්කෝර් වොට් පන්සල් භූමියේ නටබුන් දකින්න ලැබෙන්නේ ද මෙම පළාතේය. 'මගාවා' ට පදක්කම් හිමි වී ඇත්තේ දිවි පරදුවට තබා, බිම්බෝම්බ සෙවීමේ මෙහෙයුම්වල නියැලීම ඇගයීමට ලක් කරමිනි. 
පසුගිය 2020 වසරේ දී මහා බ්‍රිතාන්‍යයෙන් ද 'මගාවා' ට ගෞරව පදක්කමක් පිරිනැමුණි. යුදමය අවස්ථාවලදීත් යුද ගැටුම්වලින් පසුවත් වීර වික්‍රම සිදු කළ සතුන් ඇගැයීම බ්‍රිතාන්‍යය විසින් සිදු කරනු ලබයි.  බල්ලන්, බළලුන් පමණක් නොව, යුද සමයේ ඔත්තුකරුවන් ලෙම ලෙස කටයුතු කළ පරෙවියන්ට පවා මෙසේ වීර පදක්කම් හිමිවී ඇත. 'මගාවා' වීර පදක්කමක් හිමිකර ගැනීම, මීයකුට වීර පදක්කමක් ලැබුණු පළමු අවස්ථාව ලෙස ද සැලකෙයි. 

'මගාවා' ට මිනිත්තු 30 ක් ඇතුළත ටෙනිස් පිට්ටනියක් වැනි ප්‍රමාණයක් ඉතා හොඳින් සෝදිසි කළ හැකිය. බිම්බෝම්බ සොයන යන්ත්‍ර යොදා ගනිමින් එසේ කිරීමට ගතවන කාලය දින 4 කි. බෝම්බයක් හෝ පුපුරන ද්‍රව්‍ය හෝ හමුවුණු විට 'මගාවා' බිම හාරමින්, එතැන පුපුරන ද්‍රව්‍ය ඇතැයි 'මගාවා' මෙහෙයවන බෝම්බ නිශ්ක්‍රීය නිලධාරීන්ට අඟවයි. 

සාර්ථක ලෙස ඉක්මණින් බිම්බෝම්බ සොයන පුහුණු කළ මීයන් 20 දෙනකු තමන් සතු බව 'අපෝපෝ' ආයතනය පවසයි. කෙසේ නමුත්, ඒ කිසිවකු 'මගාවා' ට සමාන කළ නොහැකි බව ද එම ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom