නෙදන්යාහු පාලනය අවසන්: ඊශ්‍රායලයට නව රජයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 14, 2021

නෙදන්යාහු පාලනය අවසන්: ඊශ්‍රායලයට නව රජයක්

ඊශ්‍රායල විපක්ෂ දේශපාලන පක්ෂ එක් වී පිහිටුවීමට සූදානම් නව සන්ධාන රජයට, එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. ඒ අනුව වසර 12 ක් තිස්සේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ බෙන්ජමින් නෙදන්යාහුගේ පාලනය අවසන් වෙයි. 

නව සන්ධාන රජය පිහිටුවීම සිදුවූයේ දක්ෂිණාංශික, ජාතිකවාදී නායක නෆාලි බෙනට්‍, පාර්ලිමේන්තු විපක්ෂ නායක යාර් ලපිඩ් සහ සෙසු දේශපාලන පක්ෂ හවුල් කර ගැනීමට සමත් වුණු බැවිනි. 

නෆාලි බෙනට්‍ ඇති කරගත් නව සන්ධානයට, දක්ෂිණාංශික, වාමාංශික, මධ්‍යස්ථමතධාරී මෙන්ම ජාතිකවාදී දේශපාලන පක්ෂ ද එක්වී සිටීම විශේෂත්වයකි. ඊශ්‍රායල දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ විවිධ මතධාරී පක්ෂ රජයක් පිහිටුවීමට මේ අයුරින් සන්ධානගත වුණු පළමු අවස්ථාව මෙය බවය.

ඇති කරගත් එකඟතාව අනුව, නව රජයේ පළමු ධුර කාලයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත්තේ නෆාලි බෙනට්‍ ය. නියමිත කාලය අවසන් වීමෙන් පසු යාර් ලපිඩ් අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත. යාර් ලපිඩ් මධ්‍යස්ථ දේශපාලනඥයෙකි. නෆාලි බෙනට් ප්‍රමුඛ ඔහුගේ සන්ධානය, රජයක් පිහිටුවීම සඳහා ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙවත් නෙසට් සභාවට ඔවුන්ගේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී, එක් වැඩි ඡන්දයකින් ඊට අනුමැතිය හිමිවීම ද සුවිශේෂී සිදුවීමකි. 

නෙසට් සභාවේ ආසන 120 කින් සමන්විත වන අතර, නව සන්ධාන රජයට පක්ෂව ඡන්ද 60 ක් ද විපක්ෂව ඡන්ද 59 ක් ද හිමිවිය. නව රජයේ වැඩි අවධානය යොමු වන්නේ ඊශ්‍රායලයේ අභ්‍යන්තර ගැටලුවලට බවත්, නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන නෆාලි බෙනට්‍ පවසා ඇත. 

 ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ අනුමැතිය නව රජයට හිමිවීමත් සමඟ පළමුවෙන් සුබ පැතුම් එක් කළේ යුරෝපා සංචාරයක නියැලී සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. 

නව අග්‍රාමාත්‍ය බෙනට් සමඟ සාකච්ඡා පවත්වා ඊශ්‍රායලයත් ඇමෙරිකාවත් අතර පවතින මිතුදම් තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති බයිඩන් පවසා ඇත. මේ අතර, පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාද් ද විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. 

'කුමන පක්ෂයක් ඊශ්‍රායලයේ බලයට පැමිණියත් පලස්තීන ජනතාවට එල්ල වන කෙණෙහිලිකම් අඩු නොවනු ඇති බවත්, පලස්තීන වැසියන් වෙනුවෙන් සාධාරණයක් ඉටු නොවනු ඇති බවත් පලස්තීන ජනාධිපති අබ්බාස්ගේ එම ප්‍රකාශයේ දැක්වෙයි.

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom