
දිල්කි ඔබේ සංගීත වැඩ කටයුතු කොහොමද?
සුපුරුදු විදිහටම වැඩ කරගෙන යනවා. අලුත් ගීත කිහිපයක් වෙනුවෙන් මහන්සි වෙනවා. සංගීත ප්‍රසංගවලට සහභාගී වෙනවා.



පුංචි කාලේ ඉඳන් ආසාව තිබුණේ ගායිකාවක් වෙන්නද?
පුංචි කාලේ ඉඳන් කියන්නේ පාසල් යන කාලේ ඉඳන් වගේ ගායිකාවක් වෙන්න ආසාව තිබුණා. ඒ වුණාට ගායිකාවක් වෙලා මෙච්චර දුරක් එන්න ලැබෙයි කියලා නම් කීයටවත්ම හිතුවේ නැහැ.


ගායිකාවක් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
ගායන ක්ෂේත්‍රයට එන්න ලැබුණේ ටෙලි නාට්‍ය තේමා ගීත ගායනයෙන්. ඊට පස්සේ මගේ ගීත හරහා සංගීත ක්ෂේත්‍රයේ ගමන හදාගත්තා. හැරවුම් ලක්ෂ්‍යයක් තමා ‘සත්තයි මට ඔබ වාගේ’ ගීතය. ඒක හුඟක් ජනප්‍රිය වුණා. බොහෝ දෙනා මාව දැනගත්තේ ඒ ගීතයෙන් පස්සේ. ඒ ගීතයේ පද රචනය නිසල් ප්‍රනාන්දුගේ. සංගීතවත් කළේ අශාන් ප්‍රනාන්දු. මගේ ගීතවලින් වැඩිපුර ප්‍රතිචාර ලැබුණේ ඒ ගීතයට.
වැඩිපුරම ගායනා කරන්නේ ආදර ගීත නේද?
ඔව්. ආදර ගීත තමයි.



රසික රසිකාවියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රතිචාර හොඳයි. නරක ප්‍රතිචාර නම් ලැබිලම නැති තරම්. ගොඩාක් සතුටුයි.
අමතක නොවන විදිහේ ප්‍රතිචාර එහෙමත් ඇති නේද?
මගේ සමහර ගීත ඇතුළේ එයාලගේ ආදර කතාව කියලා ගොඩාක් අය කියනවා. ඒක මගේ හිතට තදින්ම දැනෙන විදිහේ ප්‍රතිචාරයක් කිව්වොත් හරි.


ප්‍රසංග වේදිකාවෙනුත් ලොකු ඉල්ලුමක් තියෙනවා නේද?
ඔව්. ඒ අතින් නම් හරිම වාසනාවන්තයි.
දහස් ගාණක් ඉදිරියේ ගීත ගායනය මොන වගේද?
එකම වෙලාවක රසික රසිකාවියන් දහස් ගණනක් ඉදිරියේ ගයන්නට ලැබීම සහ එයාලව ගීතයෙන් සතුටු කිරීම ලොකු සතුටක්.
ගායිකාවක් නොවුණා නම් අද මොන වගේ වෘත්තියකද?
ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න ඉඩ තිබුණා. නැත්නම් ගුරු වෘත්තිය වගේ එකක් තෝරගනියි.


දිල්කි එන්න එන්නම හැඩවෙනවා. රහසක් මොකක්ද?
මං මාව ලස්සනට බලාගන්නවා ඇරෙන්න වෙන රහසක් නැහැ.
අපේ රටේ ඇතැම් තරුණයන්ගේ ක්‍රෂ් එක ඔබ කියලා හිතනවාද?
සතුටුයි. රසික ආදරයක් ලැබෙනවා කියන්නේ කලාකාරිනියක් විදිහට සතුටට කාරණයක්.
විවාහවෙන්න කලින් ගොඩාක් ආදර යෝජනා එන්න ඇති නේද?
ඒක හැම ගෑනු ළමයකුටම වගේ පොදු දෙයක්නේ.



ඔබ විවාහකයි. පවුල් ජීවිතේ එහෙම කොහොමද?
අපි දෙන්නා ආදරේ කරපු කාලේ වගේ ආදරෙන් සතුටින් ඉන්නවා.
විලාසිතා කරන්නේ සීමාවකටද?
මම සාමාන්‍යයෙන් මගේ පෙනුමට ගැළපෙනම විලාසිතා විතරයි කරන්නේ. හිතුණු හිතුණු හැම විලාසිතාවම කරන්නේ නෑ. තැනකට ගියත් මං එතැනට උචිත ඇඳුමක් අඳින්නේ. නොගැළපෙන විලාසිතා කරන්නේ නෑ.
නිළියක් වෙන්න සුදුසුකම් එහෙමත් තියෙනවා?
ඇත්තටම රඟපාන්න ආරාධනා ඇවිදින් තියෙනවා. ඒකට කැමැත්තක් නෑ.
ගායන ශීල්පිනියක විදිහට ඉදිරි බලාපොරොත්තු මොනවද?
එකම බලා පොරොත්තුව වෙන්නේ මට පුළුවන් කාලයක් සංගීත ක්ෂේත්‍රයේ රැඳිලා, ගායනය තුළින් සංගීත ක්ෂේත්‍රයට මගේ උපරිමය දෙන එක තමයි. ඒ වගේම හැමදාමත් මිනිස්සුන්ගේ හදවතේ ගායිකාවක් විදිහට රැඳිලා ඉන්නත් කැමැතියි.
ඡායාරූප - මුහුණු පොතෙන්

