
දැන් ප්‍රභාත් මිරිහාගල්ල තවත් අපූරු පරිවර්තනයකින් කරළියට පැමිණීමට සූදානම් වෙයි. ඔහු එය නම් කර ඇත්තේ 'නිකම් ම ජිමී' යනුවෙනි.
'නිකම් ම ජිමී'; ඒ නම නිසා ඇතිවුණු කුතුහලය හින්දා අප මේ නව පරිවර්තනය ගැන ප්‍රභාත්ගෙන් විමසීමක් කළෙමු. 'නිකම් ම ජිමී' කියන්නේ මොකක්ද?
නිකම් ම ජිමී යනුවෙන් මං සිංහල බසට නඟලා තිබෙන්නේ 1949 වසරේ රිච්මල් ක්‍රොම්ප්ටන් කියන ඉංග්‍රීසි ජාතික කතුවරියගේ Just Jimmy කියන ප්‍රබන්ධය. රිච්මල් ක්‍රොම්ප්ටන් ප්‍රකට ව සිටින්නේ හාස්‍ය රසය ඉස්මතු කරන පරිදි ළමා ප්‍රබන්ධ ලියූ ලේඛිකාවක ලෙසයි. හාස්‍ය රසයට මුල් තැන දී ලියවුණු ළමා ප්‍රබන්ධ අපේ සාහිත්‍යයේ බොහොම විරල නිසා තමයි මම විශේෂයෙන් මේ පොත පරිවර්තනය කරන්න තෝරගත්තේ.
'නිකම් ම ජිමී' කතාව මොන වගේද?
නිකම් ම ජිමී පොතේ කතාව ගලාගෙන යන්නෙ දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍යයේ පැවති පරිසරය මධ්‍යයේයි. යුද්ධය පිළිබඳ අදහස් ළමා මනස්වලට බලපාපු ආකාරය පිළිබඳ මෙහි නිරූපණය කෙරෙනව. ඊට අමතරව, බ්‍රිතාන්‍ය වැනි දියුණු රටක වුවත්, සලාක ක්‍රමයට ආහාර හා අනෙක් අවශ්‍යතා පිරිමසා ගැනීමට සාමාන්‍ය ජනයාට සිදු වූ අන්දම හා පශ්චාත් යුද සමයේ ජන ජීවිතය කෙබඳු විණිද යන්න ගැනත් මෙහි සාකච්ඡාවට ගැනෙනවා.
'නිකම් ම ජිමී' පොත එළිදැක්වීම සිදුවන්නේ කවදාද?
ඉදිරි දින කීපයේ දී 'නිකම් ම ජිමී' පොත පාඨකයන් අතට පත් වේවි. නිකම් ම ජිමී පළ කරන්නට ඉදිරිපත් වුණේ බුක්රැක් ආයතනය. ඇත්තටම මේ පොත මෙතරම් ඉක්මනින් එළිදක්වන්නට මම බලාපොරොත්තු වුණේ නෑ. එහෙත් ප්‍රකාශක මහතා මේ වැඩේට බොහොම උනන්දු වෙලා කෙටි කාලයක් තුළ පොත මුද්‍රණය කරන්න කටයුතු කළා.

'නිකම් ම ජිමී' පොත් මාලාවක් තිබෙනවාද?
Just Jimmy පොතට අනුබන්ධයක් හැටියට රිච්මල් ක්‍රොම්ප්ටන් පසුකාලයක ලියූ Just Jimmy Again කියන පොත තිපෙනවා. බුක්රැක් ආයතනයෙන් මට එහි පිටපත් ලැබෙන්න සලස්වා තිබෙනවා. මට විශ්වාසයි, 'නිකම්ම ජිමී' සිංහල පාඨකයන්ට අලුත් අත්දැකීමක් වේවි. ඔවුන් ජිමී කියන මේ දඟකාර කටකාර පොඩ්ඩාගේ චරිතය ආදරයෙන් වැලඳ ගනීවි. ඉදිරියේත් 'නිකම් ම ජිමී' දෙවැනි කොටසක් කියවන්නත් ඉඩ ප්‍රස්ථා සැලසේවි.
ඊට අමතරව ඉදිරියේ දී එළිදැක්වෙන ඔබේ නිර්මාණ ගැන කීවොත්?
බටහිර විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ මෑතකාලිනව පහළ වූ කැපීපෙනෙන ලේඛකයකුගේ කෘතියක් මම නොබෝදා පරිවර්තනය කර හමාර කළා. එය නුදුරු කාලයකදී පළ වේවි.
ඒ මොකක්ද කියලා ඇහුවට කමක් නැද්ද?
ඒක රහසක්. ඉදිරියේදී ඒක දැන ගන්න ලැබේවි. ඒ විතරක් නොවෙයි. පරිවර්තන කෘතිවලට ඇලුම් කරන බොහෝ දෙනාට ඒක සුබ ආරංචියක් වේවි.