දිලිප් කුමාර් අවසන් ගමන් යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 7, 2021

දිලිප් කුමාර් අවසන් ගමන් යයි

අභාවප්‍රාප්ත දිලිප් කුමාර්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (7) සවස 5 ට මුම්බායි නුවරදී පැවැත්විණි. දේහය භූමදානය කෙරුණේ මුම්බායි සැන්ටා කෲස් හි ජුහු කබ්‍රස්ථාන් සුසාන භූමියේය. අවමංගල කටයුතු සඳහා ඉන්දීය මධ්‍යම රජයේත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයේත් පූර්ණ අනුග්‍රහය ලැබුණි.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් සංචාරක සීමා පනවා තිබියදී පවා බොහෝ දෙනකු අවමංගල පෙරහරට එක් වී සිටියහ. දිලිප් කුමාර්ට අවසන් ගෞරව දැක්වීමට, ෂාරුක් ඛාන් ඇතුළු බොලිවුඩ් නළි නිළියෝ බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ද ශෝක පණිවුඩ නිකුත් කර තිබුණි. ඉන්දියාවේ පමණක් නොව, බොලිවුඩ් සිනමාවට ඇලුම් කරන පාකිස්තාන සිනමාලෝලීන් පවා දිලිප් කුමාර් වෙනුවෙන් සොව පළ කිරීම විශේෂත්වයකි. 
දිලිප් කුමාර්ට අවසන් ගෞරව දැක්වීමට ආ ෂාරුක් ඛාන්

මියයනවිට දිලිප් කුමාර් වයස අවුරුදු 98 හැවිරිදි වියෙහි පසුවිය. අධි රුධිර පීඩනය සහ ස්වසන අපහසුතා හේතුවෙන් පසුගිය දින කීපය පුරාවට දිලිප් කුමාර් රෝහල්ගත සිටියේය. අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිගින් දිගටම පිරිහුණු බවත් අද (7) උදෑසන 7.30 ට දිලිප් කුමාර් දිවියෙන් සමුගත් බවත් වෛද්‍යවරු පැවැසූහ. 

 දිලිප් කුමාර්, හින්දි සිනමා නළුවකු පමණක් නොව, චිත්‍රපට නිෂ්පාදකවරයකු ද විය. 2000 වසරේ සිට 2006 තෙක් කාලයේ ඉන්දීය රාජ්‍ය සභාව ද නියෝජනය කළේය. ඒ මහාරාෂ්ට්‍ර ඡන්ද කොට්ඨාශයෙනි. දිලිප් කුමාර් උපන්නේ 1922 දෙසැම්බර් 11 වැනිදාය. ඒ, ඉන්දියාව බ්‍රිතාන්‍ය යටක් විජිතයක් ලෙස පැවැති අවදියේදීය. 1944 සිට 1998 තෙක් කාලයේ දිලිප් කුමාර් හින්දි සිනමාවට සම්බන්ධ විය. 1991 වසරේ පද්ම භූෂන්, 2015 දී පද්ම විභූෂණ සම්මානවලින් ද දිලිප් කුමාර් පිදුම් ලැබුවේය. 

දිලිප් කුමාර් මුස්ලිම් ජාතිකයෙකි. ඔහු උපන්නේ මොහොමද් යූසොෆ් ඛාන් යන නමිනි. හින්දු මුස්ලිම් භේදය නිසා ඔහු රංගනයට පිවිසියේ දිලිප් කුමාර් යන නමිනි‍. සිනමා විචාරකයන් පෙන්වා දෙන අන්දමට, හින්දි සිනමාවේ ජනප්‍රියත්වය දිනූ පළමු 'ඛාන්' ලෙස සැලකෙන්නේ ද දිලිප් කුමාර්ය. ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මාන් ඛාන් ආදිය දිලිප් කුමාර්ගෙන් පසු බොලිවුඩයේ ජනප්‍රිය වූ ඛාන් නම ඇති නළුවන්ය. 

 දිලිප් කුමාර් රංගනයට පිවිසියේ 1944 දී 'ජවාර් භාතා' චිත්‍රපටයෙනි. එය දශක 6 ක සිනමා දිවියේ ආරම්භය සනිටුහන් කළේය. චිත්‍රපට 65 කට වැඩි සංඛාවනක දිලිප් කුමාර් රංගනයේ යෙදී ඇත. 1976 දී දිලිප් කුමාර් රංගනයෙන් වසර පහක විවේකයක් ලබා ගත් අතර, ක්‍රාන්ති (1981) චිත්‍රපටයේ චරිත චරිතයක් සමඟ නැවත පැමිණ, ශක්ති (1982), මාෂාල් (1984), කර්මා (1986) වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළේය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ කිලා (1998) ය. 

පළමු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ දිලිප් කුමාර්ය. ඉන්පසු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලකදී වැඩිම හොඳම නළුවාට හිමි සම්මානය දිනා ඇත්තේ ද දිලිප් කුමාර් වීම විශේෂත්වයකි. දිලිප් කුමාර් නිළි මධුබාලා සමඟ දීර්ග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ නමුත් ඇය සමඟ විවාහ නොවූ අතර, ජනප්‍රිය බොලිවුඩ් නිළි සයිරා බානූ දිලිප් ඔහුගේ බිරිඳ වූවාය. දෙදෙනා විවාහ වූයේ 1966 වසරේදීය.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom