හයිටි ජනපති ඝාතනය කරලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 7, 2021

හයිටි ජනපති ඝාතනය කරලා

හයිටි ජනාධිපති හොවනෙල් මොයිස් වෙඩි තබා ඝාතනය කෙරුණි. වෙඩි ප්‍රහාරයට ලක් වෙද්දී ජනාධිපතිවරයා ඔහුගේ බිරිඳ සමඟ පෞද්ලික නිවසේ සිටි බව පැවැසෙයි. ජනාධිපති හොවනෙල් මොයිස් ඝාතනයට ලක්වුණු බව නිවේදනය කළේ හයිටි අන්තර්වාර අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජොසෙප්ය. 

සන්නද්ධ කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදී ජනාධිපතිවරයාටත් බිරිඳටත් වෙඩි තැබූ බව අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජොසෙප් පැවැසීය. වෙඩි ප්‍රහාරයට ලක් වුණු ජනාධිපති ආර්යාව මාටීන්, රෝහල් ගත කෙරුණි. ඇයගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. 

ජනාධිපතිවරයා ඝාතනයත් සමඟ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වුවත්, හයිටි පොලිසිය සහ හමුදාව මැදිහත් වී ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවශ්‍ය සියලුම පියවර ගත් බව අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ජනතාව අමතමින් පැහැදිලි කළේය. 

හයිටි යනු ඉතාමත් දිළිඳු කැරිබියානු දූපත් රාජ්‍යයකි. පසුගිය වසර කීපය පුරාවට හයිටිය ස්වභාවික ව්‍යසනවලින් සහ දේශපාලන අර්බුදවලින් ද බැට කෑවේය. ජගත් සාම සාධක හමුදා හයිටියට ගොස් සිටින්නේ ද මානුෂීය මෙහෙයුම්වල නියැලෙමිනි. 

හයිටිගේ ජනගහනය මිලියන 11 කි. නියමිත ධුර කාලය අවසන් වුවත්, 53 හැවිරිදි හොවනෙල් මොයිස් විශේෂ නියෝගයක් හරහා දිගටම ධුරයේ රැදී සිටී. ඒ, පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ප්‍රමාද කරමිනි. 

ජනාධිපතිවරයා දිගටම බලයේ රැදී සිටීමට කටයුතු කිරීම, හයිටි දේශපාලනික කණ්ඩායම් අතරේ බෙදීමක් ඇති කළේය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත විපක්ෂ ක්‍රියාකාරීන් දිගින් දිගටම මර්දනයට ලක් වෙද්දී, විරෝධතා ද උත්සන්න වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජනාධිපතිවරයා ඝාතනය වීමට පෙර, අද (7) උදෑසන සිට පෝට් ඕ ප්‍රින්ස් අගනුවර කලහකාරී තත්ත්වයක් පැවැතිණි. ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් විරෝධතාකරුවන් කඩසාප්පු සහ ව්‍යාපාරික ස්ථානවලට කඩා වැදී අලාභහානී සිදුකිරීමටත් කොල්ල කෑමටත් පටන් ගත් බව ද පැවැසෙයි. 

ජනාධිපතිවරයාගේ ඝාතනය හෙලාදකිමින් අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජොසෙප් කියා සිටියේ එය ලැජ්ජාසහගත නින්දිත ම්ලේච්ඡ ක්‍රියාවක් බවය.

BBC

Classified_Ad

Classified_Ad_News_Bottom