ඕනෑ වෙලාවට පාකිස්තානය උදව්වට ඉන්නවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 8, 2021

ඕනෑ වෙලාවට පාකිස්තානය උදව්වට ඉන්නවා

අවශ්‍ය සෑම විටෙකම පාකිස්තානය ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් කට්ටක් මහතා පවසයි.  

පාකිස්තානය සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දක්වන බවත් දෙරට අතර තිබෙන මිත්‍රශීලි ද්විපාර්ශවීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බවත් මහ කොමසාරිස්වරයා කීය. 

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් පාකිස්තාන මහ කොමසාරිස්වරයා මේ කරුණු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සියල්ල සෑම ශ්‍රී ලාංකිකයකු සඳහාම විවෘත බව ද හෙතෙම කීය. 

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් අතර එක්සත්කම වර්ධනය කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජා බහුතර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් හෙතෙම මෙහිදි අවධාරණය කළේය. 

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් කට්ටක් මහතා ඉකුත් සතියේ අනුරාධපුරය, කිලිනොච්චිය, සහ ආරුගම්බේ යන ප්‍රදේශවල සංචාරය කරමින් ගංවතුර, නායයෑම් සහ ‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් පවුල්වලට වියළි ආහාර බෙදා හැරීම කටයුතුවලට සහභාගී විය.

ගංවතුර, නායයෑම් සහ ‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් මෙරට ජනතාවට පාකිස්තාන රජය ලබාදෙන ආධාර කොටසක්වල එම ආධාර බෙදාහරින ලදි. 

පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් කට්ටක් මහතා ඉකුත් 29 වැනිදා අනුරාධපුර මිරිසවැටිය විහාරස්ථානය ගිය අතර එහිදි ඊතලවැටුණ වැව යානතිලක හිමි බැහැ දුටුවේ ය. 

එහිදි පීඩාවට පත් ජනතාවට ආධාර ද බෙදා දුන්නේ ය. මහ කොමසාරිස්වරයා ඉකුත් 30 වැනිදා යාපනයේ සංචාරය කළ අතර එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා හමු වී කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය සහ ද්විපාර්ශවීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ්ගේ ආරාධනයක් මත පාකිස්තාන මහ කොමසාරිස්වරයා ජූලි 1 වැනිදා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදි එම ප්‍රදේශයේ විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය. 

මේ අතර මහ කොමසාරිස්වරයා මහ කොමසාරිස්වරයා අරුගම්බේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආහාර ද්‍රව්‍ය, පාසල් පොත් බෑග් සහ ක්‍රීඩා උපකරණ බෙදා හැරියේය.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom