පාප්තුමන්ට සැත්කමක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 5, 2021

පාප්තුමන්ට සැත්කමක්

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ රෝහලකදී උදරයේ සැත්කමකට භාජන කළ බවත්, සැත්කම සාර්ථක වූ බවත් වතිකානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

සැත්කමින් පසු 84 හැවිරිදි පාප්තුමන්ගේ තත්ත්වය යහපත් බවත්, එතුමන් වෛද්‍ය අධීක්ෂණය යටතේ දින කීපයක් රෝහලේ සිටිනු ඇති බවත් වතිකාන ප්‍රකාශක මැතියෝ බෲනී පවසා ඇත. 

මහ බඩවැලේ අග සිහින් වීමක් හේතුවෙන් සැත්කම කළ බවත්, සැත්කම කළේ සාමාන්‍ය නිර්වින්දන තත්ත්වයක් යටතේ බවත් වතිකාන ප්‍රකාශකයා පැහැදිලි කර ඇත. එය හදිසියේ කළ සැත්කමක් නොවන බවත්, සති කීපයකට පෙර සැත්කමට දින නියම කරගෙන තිබුණු බවත් මැතියෝ බෲනී වැඩි දුරටත් පවසා ඇත.

පසුගිය කාලය පුරාවට පාප්තුමන් බඩ පුරවා දැමීම, වරින් වර ඇතිවන උදර වේදනා සහ මලපහ කිරීමේ අසීරුතාවලින් පීඩාවට පත් වී සිටියේය. සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කළේ ඒ අනුවය. 

2013 වසරේ පාප් ධුරයට පත්වීමෙන් පසු, ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝහල්ගත කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. පාප්තුමන් සැත්කමට භාජන කළේ ඊයේ (4) සවස ජෙමේලි ශික්ෂණ රෝහලේදීය. 

පාප්තුමන් රෝහල්ගත කිරීමත් සමඟ වතිකාන ආරක්ෂක අංශ රෝහලට විශේෂ ආරක්ෂාවක් සැපැයීමට ද කටයුතු කළේය. පාප්තුමන් ප්‍රතිකාර ලබන වාට්ටුවට ඔහුගේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හැර වෙන කිසිවකුට යෑමට අවසර නොලැබෙන බව ද පැවැසෙයි. 

මේ අතර, පාප්තුමන්ගේ තතු දැන ගැනීමේ අරමුණින් ඉතාලි මාධ්‍යවේදීන් රෝහල ඉදිරිපිට රැදී සිටින බව 'රොයිටර්' වාර්තා කර තිබේ. සැත්කමට භාජන වීමට රෝහල්ගතවීමට පෙර පාප්තුමන් ඊයේ (4) උදෑසන ශාන්ත පීටර්ස් චතුරස්‍රයට රැස්වුණු දහස් ගණනක් අමුත්තන් ආමන්ත්‍රණය කිරීමට ද අමතක නොකළේය. 

සැත්කම සාර්ථක වූ නමුත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පාප්තුමන්ට කොතරම් කාලයක් රෝහල්ගතව සිටිමට සිදුවේවිද යන්න සම්බන්ධයෙන් දැනට කිසිවක් පැවැසිය නොහැකි බව මැතියෝ බෲනී වැඩිදුරටත් පවසා තිබේ.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ආජන්ටිනා ජාතිකයෙකි. 

එතුමන් උපත ලැබුවේ 1936 වසරේ බුවර්නෝස් අයර්ස් නුවරදීය. අවුරුදු 21 දී, පෙනහළු ආසාදනයක් හේතුවෙන් පාප්තුමන්ගේ දකුණු පෙනහල්ලෙන් කොටසක් ඉවත් කර ඇත. 

පාප්තුමන් උදරේ රෝගී තත්ත්වයෙන් පීඩා විදීමට පටන් ගත්තේ 2014 වසරේ සිටය. එම රෝගී තත්ත්වය හේතුවෙන් විදෙස් සංචාර සහ ආගමික කටයුතු බොහොමයක් සීමා කිරීමට ද පාප්තුමන්ට සිදුවුණු බව වතිකානය වැඩි දුරටත් පවසා ඇත. කොන්දේ කැක්කුමකින්, දෙපාවල වේදනාවකින් ද පාප්තුමන් පීඩා විඳින බව ද පැවැසෙයි.

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom