ගගන සවාරියට ශ්‍රීෂා සූදානම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 9, 2021

ගගන සවාරියට ශ්‍රීෂා සූදානම්

අභ්‍යවකාශ ගමන් බිමන් වාණිජකරණය කරමින්, පෞද්ගලික සංචාර ආරම්භ කරමින්, උඩු ගුවනට යෑමට වර්තමාන ලෝකයේ බිලියනපතියෝ තිදෙනෙක් ලොකු තරඟයක පැටලී සිටිති. මොවුන් තිදෙනාගෙන් එක් අයකු  ලබන 11 වැනිදා එම තරගය ජයග්‍රහණය කිරීමට නියමිතය. ඔහු බ්‍රිතාන්‍ය ජාතික 70 හැවිරිදි ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන්ය. බ්‍රැන්සන්ට අභියෝග කරන අනෙක් බිලියනපතියන් දෙදෙනා වන්නේ ජෙෆ් බෙසෝස් සහ ඊලෝන් මස්ක් ය. 

බ්‍රැන්සන් ඇතුළු ගගනගාමී සංචාරකයන් හය දෙනකු ගුවන් යානයක් වැනි හරි අපූරු යානයකින් අභ්‍යවකාශයට ගොස් ආපසු පෘථිවියට පැමිණීමට නියමිතය. ඒ අනුව, ලබන 11 වැනිදා සිදුවන මෙම වික්‍රමය පෞද්ගලික ගගන සංචාරවල ආරම්භය සනිටුහන් කරනු ඇත. 

බ්‍රැන්සන් සහ වර්ජින් ගැලැක්ටික් සමාගම අභ්‍යවකාශයට යන්නේ එම සමාගම වසර ගණනාවක් තිස්සේ අත්හදා බැලීම් කරමින් නිපදවා ඇති 'වර්ජින් ගැලැක්ටික් යුනිටි' නමැති යානයේ ආධාරයෙනි. බ්‍රැන්සන් මෙම ගමනට එක් වන්නේ එය කොතරම් ආරක්ෂිතදැයි ලොවට තහවුරු කරමිනි. වර්ජින් ගැලැක්ටික් යුනිටි අභ්‍යවකාශ යානය උඩු ගුවන බලා යන්නේ පැයට සැතපුම් 2,000 ක (මැක් 2.7ක) වේගයකිනි. 

මේ වනවිටත් වර්ජින් ගැලැක්ටික් සමාගමේ අනාගත අභ්‍යවකාශ චාරිකාවලට එක්වීමට ආසන වෙන්කරවා ගැනීමට ලෝක ධනවතුන් 600ක් කැමැත්ත පළ කර ඇත. ජනප්‍රිය හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් පවා ඒ අතරේ සිටී. ආසන වෙන් කර ගැනීම කර ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 250,000ක් ගෙවමිනි. වර්ජින් ගැලැක්ටික් සමාගමේ මෙම යානයේ නියමුවන් දෙදෙනාට අමතර මගීන් 6 දෙනකුට ආසන තිබේ. සෑම මගියකුටම පිටත නරඹන්න විශාල කවුළු ඇත. ඒ, එකක් පැත්තෙන් හා එකක් ඉහළින් ආදී වශයෙනි. 

අභ්‍යවකාශ යානය අඩි 60 ක් දිගය. ශූන්‍ය ගුරුත්වයේ දී පාවෙන විට, එ් අත්දැකීමත් හොඳ හැ‍ටි විඳගත හැකි වන ආකාරයට. අද දිනයේ අභ්‍යවකාශයට යන බ්‍රැන්සන් ඇතුළු කණ්ඩායම නම් කර ඇත්තේ 'යුනිටි 22' යනුවෙනි. මෙම කණ්ඩායට කාන්තාවන් දෙදෙනකු ඇතුළත් අතර, එයින් එක් අයකු ඇමෙරිකානු ඉන්දීය තරුණියක වීම විශේෂත්වයකි. ඇය ශ්‍රීෂා බණ්ඩාලාය. 

මෙය ඉන්දියානුවන් අමන්දානන්දයට පත් කිරීමට හේතුවක් වී ඇත. ශ්‍රීෂා ආන්ද්‍රා ප්‍රාන්තයේ තෙලිගු බස කතා කරන යුවතියකි. ආන්ද්‍රා ප්‍රාන්තයේ උපන් ඇය හැදී වැඩුණේ ඇමෙරිකාවේ ටෙක්සාස් හි හූස්ටන් නගරයේය. ශ්‍රීෂා වර්ජින් ගැලැක්ටික් සමාගමේ රාජය කටයුතු සහ පර්යේෂණ මෙහෙයුම් කටයුතු සම්බන්ධ උප සභාපතිනියයි. 
'ශ්‍රීෂා බණ්ඩාලා නිර්භීත කෙනෙක්. තීරණ ගැනීමේදී ඇය පසුබට වෙන්නේ නැහැ. නිවැරදි දැක්මක් ඇයට තිබෙනවා. ඇය පුංචි කාලයේ පටන් අහස ගැනත් අභ්‍යවකාශය ගැනත් උනන්දුයි. අභ්‍යවකාශයට යෑම ඇගේ සිහිනයක්. දැන් ඒ සිහිනය සැබෑවක් වේවි. තවත් පස් දෙනකු සමඟ ඇය අභ්‍යවකාශයට යනවා. මා ඇයට සුබ පතනවා. ඇගේ පවුලේ අප සැමෝම ඇයට සුබ පතනවා. ඇය සහ ඇගේ කණ්ඩායමේ ගමන සාර්ථක වේවි' යැයි ශ්‍රීෂාගේ සීයා, ආචාර්ය රාජියා ඉන්දියාවේ ඒ.එන්.අයි. පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා ඇත. 

ශ්‍රීෂාගේ සීයා ජීවත් වන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගන්තූර් දිස්ත්‍රික්කයේය. කල්පනා චෞලාගෙන් පසු ඉන්දියාවේ උපත ලැබූ තරුණියක අභ්‍යවකාශයට යෑම ඉන්දියාවට මහත් ආඩම්බරයකි. ඒ අනුව, චෞලාගෙන් පසු දෙවැනියට අභ්‍යවකාශයට යන්නේ ශ්‍රීෂා බණ්ඩාලා ය. ඉන්දීය සම්භවයක් ඇති, ඇමෙරිකාවේ උපන් රාඛේෂ් ශර්මා සහ සුනීතා විලියම්ස් ද අභ්‍යවකාශයට ගිය සෙසු ඉන්දියානුවන්ය.

ට්විටර් ගිණුම සමඟ සම්බන්ධ වී අදහස් දක්වමින්, ශ්‍රීෂා කියා සිටියේ 'යුනිටි 22' කණ්ඩායමේ සාමාජිකාවක වීමට ලැබීම තමන්ට ලොකු ගෞරවයක් බවය. ලොව සැමට අභ්‍යවකාශයට යන්න මඟ පෙන්වන වර්ජින් සමාගමේ කොටස්කාරියක් වීම ගැනත් තමන් අතිශය සතුටට පත්වන බව ද ඇය ඇගේ ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබේ. 
'වර්ජින් ගැලැක්ටික් යුනිටි' යානය


ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු ප්‍රාන්ත මහ ඇමැති චන්ද්‍රබාබු නයිඩු ද අභ්‍යවකාශයට බලා යන රිචඩ් බ්‍රැන්සන්, ශ්‍රීෂා ඇතුළු 'යුනිටි 22' කණ්ඩායමේ සමූහ ඡායාරූපයක් ද පළ කරමින් ට්විටර් පණිවුඩයක් පළ කළේය. ඒ ඔවුන්ට සුබ පතමිනි. බ්‍රැන්සන්, ශ්‍රීෂා බණ්ඩාලා ඇතුළු කණ්ඩායම අභ්‍යවකාශය බලා යන්නේ ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ සිටය. 

ඩේලිමේල් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom