හයිටි ජනපති ඝාතනය කළේ කවුරුද? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 9, 2021

හයිටි ජනපති ඝාතනය කළේ කවුරුද?

හයිටි ජනාධිපති 53 හැවිරිදි ජොවෙනෙල් මොයිස් ඝාතනය කෙරුණේ පසුගිය 7 වැනිදාය. ජනාධිපති ජොවෙනෙල් මොයිස්, පෝට් ඕ ප්‍රින්ස් අගනුවර පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ බිරිඳ සමඟ සිටිද්දී, පිකප් ට්‍රක්වලින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් නිවසට කඩා වැදී ජනාධිපතිවරයාටත් බිරිඳටත් වෙඩි තබන්නට විය. 

ජනාධිපති ජොවෙනෙල් එම ස්ථානයේදීම මියගිය අතර, බරපතල තුවාල ලැබූ ජනපති බිරිඳ මාටීන් දිවි ගලවා ගත්තාය. කඩිනමින් ඇය වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කෙරුණු අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය ඇමෙරිකාවේ ෆ්ලොරීඩා බලා රැගෙන යෑම ද සිදුවිය.‍ 

ජනපති බලතල අයථා ලෙස භාවිතයට ගනිමින්, විශේෂ නියෝගයක් නිකුත් කර, දිගටම ධුරයේ රැඳී සිටීමට ජොවෙනෙල් මොයිස් කටයුතු කර තිබුණි. පසුගිය වසර කීපය පුරා හයිටියේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගැනීමට හේතුවක් වූයේ එයයි. මැතිවරණයකට යා යුතු යැයි විපක්ෂ දේශපාලන කණ්ඩායම් දිගින් දිගටම ජනාධිපති ජොවෙනෙල් මොයිස්ට බල කළ නමුත් මැතිවරණයකට යෑමට ජනාධිපතිවරයාගේ උනන්දුවක් නොතිබුණි. 

ජනාධිපති මොයිස් බලයේ රැඳී සිටින්නේ හයිටි වැසියන් දිනෙන් දින පීඩාවට පත් කරමින් යැයි චෝදනා එල්ල විය. ජාත්‍යන්තරයෙන් පවා ජනාධිපති ජොවෙනෙල් මොයිස් ට බලපෑම් එල්ල වූයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසටය. 
මෙම 2021 වසරේ පෙබරවාරියේ ජනාධිපති ජොවෙනෙල් මොයිස් මාධ්‍ය හමුවේ අනාවරණය කළේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් තමන් ඝාතනය කර බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කරන බවය. විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් බොහෝ දෙනකුට ඇමෙරිකාවේ සහාය ලැබේ. එය රහසක් නොවෙයි. 

 පසුගිය 7 වැනිදා පෝට් ඕ ප්‍රින්ස් අගනුවර පිහිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස්ගේ නිවසට කඩා වැදී ඔහු ඝාතනය කළේ කළු ඇදුම්වලින් සැරසුණු ආයුධවලින් සන්නද්ධ පිරිසකි. මොවුන් ප්‍රහාරයට පැමිණෙන අයුරු සහ පහර දී යන අයුරු ආදිය ආරක්ෂක කැමරාවල සටහන් වී ඇත. එම කණ්ඩායම ක්‍රියාකළ ආකාරය අනුව, ඔවුන් ඇමෙරිකාවේ DAE ආරක්ෂක අංශ නිලධාරීන් යැයි හයිටි පොලිසිය සැක කරයි. 

මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි මර්දනය කරමින්, අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම් සිදු කරන්නේ ඇමෙරිකන් ෆෙඩරල් රජයට අයත් DAE කාර්යාංශයයි. ඝාතනයට පැමිණි පිරිස කතා කළේ ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ බසිනි. හයිටියේ නිල භාෂාව ප්‍රංශය. එසේ නම් ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරමින් දිනෙන් දින රට අගාධයට ඇදගෙන ගිය ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනය කළේ ඇමෙරිකන් ඒජන්තවරුන් කණ්ඩායමක්ද? නැත්නම් ඔවුන් කුලී හේවායන් පිරිසක්ද? 
මෙය ප්‍රශ්නාර්ථයක් වෙද්දී, මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් පළ වුණු පුවත් පිළිඳව ඇමෙරිකන් තානාපති බොචිට් එඩ්මොන්ඩ් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ඝාතකයන්, ඇමෙරිකන් DAE ඒජන්තවරුන් මෙන් පෙනී සිටීමට උත්සාහ ගෙන ඇතැයි පෙනී යන බවය. ජොවෙනෙල් මොයිස් ඝාතනය සම්බන්ධයෙන් කම්පාවට පත් ව එය හෙළා දැකීමට පළමුවෙන්ම කටයුතු කළේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. සිදුවුණේ කුමක්දැයි තමන් සෙයා බලන බව බයිඩන් පැවැසීය. ජොවෙනෙල් මොයිස් ඝාතනය කිසිසේත් අනුමත කළ නෙහැකි බව බයිඩන් පැවැසීය. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනය ම්ලේච්ඡ ක්‍රියාවක් බවය. 

 පසුගිය 7 වැනිදා උදෑසන පටන් පෝට් ඕ ප්‍රින්ස් අගනුවර එකම අවුල් ජාලයක් විය. ඒ ජනාධිපති ජොවෙනෙල් මොයිස්ට අප්‍රසාදය පළ කරමින් ආරම්භ වී ඇති විරෝධතා උත්සන්න වීමත්, ප්‍රචණ්ඩකාරීවීමත් නිසාය. කඩසාප්පුවලට පහරදීම් සහ කොල්ලකෑම් ද වාර්තා වීමට පටන් ගත්තේය. 

ජනාධිපති ජොවෙනෙල් මොයිස්, බිරිඳ මාටීන් ද සමඟ පෞද්ගලික නිවසට යන්නට ඇත්තේ ද ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින් යැයි පැවැසෙයි. සන්නද්ධ පිරිස ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදුණේ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් පවා පුදුමයට පත් කරමිනි. ජොවෙනෙල් මොයිස්, වෙඩි තබා ඝාතනය කළේ යැයි ජාතිය අමතමින් නිවේදනය කළේ හයිටි අන්තර්වාර අග්‍රාමාත්‍යවරයාය. එය ම්ලේච්ඡ ඝාතනයක් යැයි අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජොසෙප් පෙන්වා දුන්නේය. 

ජනතාවට සන්සුන් වෙන්නැයි පවසමින්, හදිසි නීතිය ක්‍රියාත්සක කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේය. ඒ අනුව, සැකකරුවන් සොයා මෙහෙයුම් ඇරැඹුණු අතර සැකකරුවන් 6 දෙනකු කොටු කර ගැනීමටත්, ඔවුන්ගෙන් දෙදෙනකු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකි වුණු බවත් හයිටි පොලිස්පති ලියොන් චාල්ස් පැවැසීය. 

හයිටිය අතීතයේ ප්‍රංශ කොලනියක්ව පැවැතිණි. පළමු යුරෝපීය ජාතිකයෝ මෙම භූමියේ බටහිර කොටසට පැමිණ 1492 වසරේදී ජනාවාස පිහිටුවා ගත්හ. ඒ, ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ පළමු මුහුදු ගමනට සමගාමීවය. 17 වැනි සියවසේ දී ස්පාඤ්ඤ අධිරාජ්‍යය එම බටහිර කොටස ආක්‍රමණය කළේ එය 'ලා එස්පැනෝලා' යන නමින් නම් කරමිනි. අද ඩොමිනිකන් ජනරජය බවට පත් වී ඇත්තේ මෙයයි. ප්‍රංශය නැගෙනහිර පළාත් අත්පත් කර ගත්තේ 1697 දීය. ප්‍රංශය අප්‍රිකාවෙන් ගෙනා කළු වහලුන් මෙම ප්‍රදේශවල පදිංචි කරවීය. 

1789 සිට 99 තෙක් කාලයේ ප්‍රංශ විප්ලවය පැවැති සමයේ හයිටි වැසියෝ ද හයිටියේ නිදහස වෙනුවෙන් අරගල කරන්න වූහ. ඒ, 1791 සිට 1804 තෙක් කාලයේය. හයිටිය 1804 දී ප්‍රංශයෙන් නිදහස් වූයේ ඒ අනුවය. දශක ගණනාවක් තිස්සේ දැඩි සූරා කෑමට ලක්වුණු හයිටිය, ඇමෙරිකා මහද්වීපයේ දිළිඳුතම රාජ්‍යය ද වෙයි. 

හයිටියේ කුමන පක්ෂයක් බලයට පත්වුවත්, කවුරු ජනාධිපති හෝ අගමැති ධුරය බාර ගත්තත් තමන්ට සෙතක් නොවන බවත්, තමන්ගේ ජීවන තත්ත්වය උසස් නොවන බවත් හයිටි වැසියෝ හොඳින් දනිති. අද වන විට හයිටි රාජ්‍යය 'කොවිඩ් 19' හෙවත් නව කොරේනා වයිරසයෙන් ද බැටකමින් සිටී. ඇමෙරිකා මහද්වීපයට අයත්, කොරෝනා වසංගතයෙන් ද දරුණු ලෙස බැටකන රාජ්‍යයක් ලෙස ද හයිටිය සැලකෙයි. 

හයිටියේ ජනගහනය මිලියන 11 කි. ජොවෙනෙල් මොයිස් උපන්නේ 1968 ජූනි 26 වැනිදාය. ඔහු බිරිඳ මාටීන් සමඟ විවාහ වූයේ 1996 වසරේදීය. දෙදෙනාට දරුවෝ තිදෙනෙක් වෙති. ජොවෙනෙල් මොයිස් කනඩෝ හයිටියන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාරික විද්‍යාව පිළිබඳ උපාධියක් හිමි කරගත්තේය. 

1996 වසරේ මාටීන් මාරී ජෝසප් සමඟ විවාහ වීමෙන් පසු ඔවුහු දෙදෙනා හයිටියේ පෝට් දෙ පෙයික්ස් පිටිසරබද පළාතට ගොස් වගා කරන්න වූහ. ඔවුන් ආරම්භ කළේ කෙසෙල් වගාවය. එය ජොවෙනෙල් මොයිස්ගේ පළමු ව්‍යාපාරයයි. ජොවෙනෙල්, කාබනික පොහෙර භාවිතය ගැන උනන්දුවක් දැක්වූ අයෙකි. කාබනික පොහොර යොදා ගනිමින් අක්කර 25 ක් පුරාවට කෙසෙල් වහා කළේ ලාභ ලබමිනි. 

ජොවෙනෙල් මොයිස් මෝටර් රථ අමතර කොටස් ගෙන්වීම සහ විකිණීම සිදු කරන 'ජූමෝර් ඔටෝ පාට්ස්' සමාගම පිහිටුවීය. මෙම සමාගම අදත් හයිටි වැසියන් අතරේ කීර්තියටත් ගෞරවයටත් පාත්‍ර වී ඇත. 2001 වසරේ ජොවෙනෙල්, පානීය ජලය බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාවක් ද ඉදි කළේය. 

ජොවෙනෙල් මොයිස් දේශපාලනයට පිවිසියේ දක්ෂ ව්‍යාපාරයකු ලෙස දියුණු වෙමින්, දේශපාලනඥයන් අතරේ කැපී පෙනෙන පුද්ගලයකු වී, දැන හැඳුනුම්කම් ඇතිකර ගැනීමෙනි. ජොවෙනෙල් දේශපාලනයට පිවිසියේ මධ්‍ය දක්ෂිණාංශික 'හයිටියන් තේට් කාලේ' දේශපාලන පක්ෂයෙනි. 

2015 දී එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති ධුරයේ කටයුතු කළේ මයිකල් මාටෙලිය. දේශපාලනයට පිවිසෙන්නැයි ජොවෙනෙල් ට ඇරැයුම් කරනු ලැබුවේ ද මයිකල් මාටෙලි විසිනි. ජොවෙනෙල් එම ඇරැයුම බොහොම කැමැත්තෙන් පිළිගත් බව හයිටි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 'හයිටියන් තේට් කාලේ' පක්ෂ අපේක්ෂකයකු ලෙස ජොවෙනෙල් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. 

මයිකල් මාටෙලි ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමටත්, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් නංවාලීමටත් රටේ නීතිපද්ධතිය ශක්තිමත් කිරීමටත් ජොවෙනෙල් මැතිවරණ වේදිකාවේ පොරොන්දු විය. 2015 ඔක්තෝබර් 15 වැනිදා පැවැතිවුණු ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජොවෙනෙල්ට දිනා ගැනීමට හැකි වූයේ සියයට 32 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. 

ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 54 ක් ඉදිරිපත් වී සිටියහ. ඔවුන් කිසිවකුටවත් සියයට 50 කට වඩා ඡන්ද දිනා ගැනීමට නොහැකි වුණු බැවිනි. දෙවැනි වටයක් පැවැත්වීමට තීරණය කෙරුණි. කෙසේ නමුත් පළමු වටයේ අක්‍රමිකතා සිදුවුණු බවට චෝදනා එල්ල වී දහස් ගණනක් හයිටි වැසියන් වීදි බැස විරෝධතා පවත්වද්දී, දෙවැනි වටයක් නොපැවැත්විණි. දෙවැනි වටය දිනෙන් දින කල් දැමුණත් එය අහෝසි විය‍. 

2016 පෙබරවාරියේ මයිකල් මාටෙලිගේ ධුර කාලය අවසන් විය. ඒ අනුව 2016 දී ජනාධිපතිවරණයක් පැවැත්විණි. එය ද අර්බුදකාරී එකක් විය. කෙසේ නමුත් අවසානයේ මැතිවරණ කොමිසම නිවේදනය කළේ ජොවෙනෙල් ජයග්‍රහණය කළ බවය. ඒ අනුව 2017 පෙබරවාරි 7 වැනිදා ජොවෙනෙල් හයිටි ජනාධිපති ලෙස දිවුරුම් දී රාජකාරි ඇරැඹුවේය. දිළිඳුකමින් බැටකන හයිටිය ස්වාභාවික ව්‍යසනවලට ද ගොදුරු වෙයි.

2010 දී හයිටිය මහා භූමිකම්පාවකින් කැලඹුණේ ලක්ෂ දෙකකට වැඩි පිරිසකට මරු කැඳවමිනි. එම භූමිකම්පාවෙන් පසු හයිටියේ යටිතල පහසුකම් මෙන්ම ආර්ථිකය ද යළි ගොඩගැනීමට නොහැකි ආකාරයට කඩා වැටුණි. හයිටියේ සියයට 60 කට වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පීඩා විදිති. ඒ සමඟ හයිටියේ අවනීතිය රජ කරන්න පටන් ගත්තේය. ඒ අනුව, පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, පැහැර ගැනීම් ආදිය දෛනික ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්විය.

Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom