විදෙස් ලාංකිකයන්ගේ සහාය සෘජුව ලබා ගන්න ක්‍රමයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 8, 2021

විදෙස් ලාංකිකයන්ගේ සහාය සෘජුව ලබා ගන්න ක්‍රමයක්

විදෙස් ගත ශ්‍රි ලාංකිකයන්ගේ සහය රටට සෘජුවම ලබා ගැනීමේ නව වැඩපිළිවෙළක් විදේශ අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඒ අනුව විවිධ රටවල ජිවත්වන ශ්‍රි ලාංකික ප්‍රජාව සමග සෘජු සබදතා පවත්වා ගනිමින් ඔවුන් හරහා එම රටවල විවිධ සහයෝගයන් ශ්‍රි ලංකාවට ලබා ගැනීමේ මෙම වැඩසටහන විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ ආරම්භ කළ බවද එම අමාත්‍යාංශය කියා සිටී.

මෙම වැඩ සටහනේ පළමු වැන්න සිංගප්පූරුව සහ බෲනායි දරුස්සලාම් සමග පැවැත්විණි. සිංගප්පූරුවේ සහ බෲනායි දරුස්සලාම් හි වෙසෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයින් මෙන්ම එරට සිටින ව්‍යාපාරික ප්‍රජාව හා සාමාන්‍ය ජනතාවද සමග විදේශ අමාත්‍යවරයා සූම් තාක්ෂණය ඔස්සේ සෘජුවම සම්බන්ධ වී කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව ඇති රට යලි යථා තත්වයට පත් කර ගැනීමට සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. 

විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ දී නන් අයුරින් ලබාදුන් සැලකිය යුතු නොමසුරු දායකත්වය සහ මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ දී රටට හදිසි වෛද්‍ය සැපයුම් ලබා දීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දීම වෙනුවෙන් සිංගප්පූරුවේ සහ බෲනායි දරුස්සලාම් හි ශ්‍රී ලාංකික ප්‍රජාවට ස්තූතිය පුද කළේය. 

සිංගප්පූරුවේ දැනට ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් 10,000 කින් පමණ සමන්විත වන විචිත්‍රවත් ප්‍රජාවක් සිටින අතර, විදේශීය ශ්‍රී ලාංකිකයන් 500 කට ආසන්න සංඛ්‍යාවක් බෲනායි දරුස්සලාම් හි විවිධ වෘත්තීන්හි නිරත වෙති. 

මෙම සාකච්ඡාවට සහභාගී වූ මහා සංඝයා වහන්සේලා සහ අනෙකුත් ආගමික නායකයින් මෙන්ම සිංගප්පූරුවේ සහ බෲනායි දරුස්සලාම් හි ප්‍රජා හා ව්‍යාපාරික සංගම් 15 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් සිය ශක්තිමත් සහයෝගය පළ කළ අතර වර්තමාන කොවිඩ්-19 වසංගතය සමඟ සටන් කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් වෙනුවෙන් විවිධාකාර පරිත්‍යාග හා දායකත්වයන් ලබා දීමට ප්‍රතිඥා දුන්හ.

මව්බිමේ අභිවෘද්ධිය සඳහා හැකි සෑම ආකාරයකින්ම ඔවුන්ගේ පූර්ණ සහාය හා සහයෝගීතාව ලබා දීම සඳහා විදේශ අමාත්‍යංශය සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීමට ද ඔවුහු යළි සහතික වූහ. 

අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම වැඩසටහන සදහා කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ , සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන යන මහත්ම මහත්මීහු එක් වූහ.

Classified_Ad

Classified_Ad_News_Bottom