වසංගතය මැද සංචාරකයෝ 17,469 ක් ඇවිත් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 8, 2021

වසංගතය මැද සංචාරකයෝ 17,469 ක් ඇවිත්

කොවිඩ් වසංගතය තිබියදීත් මේ වසරේ මුල් මාස හයේදී මෙරටට විදෙස් සංචාරකයන් 17,469 දෙනෙකු පැමිණ ඇති අතර එම සංචාරකයින් අතරින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 183 දෙනෙකු පමණක් යැයිද සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 

ඒ අනුව කොවිඩ් දෙවැනි රැල්ලෙන් පසුව ඉකුත් ජනවාරි 21 වැනිදා සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු පසුගිය දක්වා මෙම සංචාරකයින් පැමිණ ඇති අතර එම කොවිඩ් අසාදිත සංචාරකයන් 183 දෙනාගෙන් 138 දෙනෙකුම ප්‍රතිකාර ලැබ සුව වී සිය රට බලා ගොස් ඇතැයි ද එම අමාත්‍යාංශය කීය. 

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ මෙරටට සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සදහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම කරුණූ හෙළි වූ බවද එමා අමාත්‍යාංශය පවසයි. 

පසුගිය දෙසැම්බර් මාසයේ දී ආරම්භ කෙරුණු සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියාමන ව්‍යාපෘතිය යටතේ 2258 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉන් කොවිඩ් අසාදීතයන් වාර්තා වුයේ 09 දෙනෙකු පමණක් බවද සංචාරක අමාත්‍යාංශය පෙන්වා දේ. ජනවාරි සිට ජුලි 04 වන දින දක්වා ගතවූ මාස හය තුළ වැඩිම සංචාරක පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ මාර්තු මාසයේ දී වන අතර එම සංඛ්‍යාව 4,581 ක් වේ. 

සංචාරකයන්ට රට විවෘත කිරීම නිසා මෙරට කොවිඩ් වසංගතය පැතිරුණු බවට විවිධ පාර්ශව නගන චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය මෙහිදී පැවසුවාය. 

මෙතෙක් කොවිඩ් අසාදිත යැයි වාර්තා වී ඇති සංචාරකයන් 183 දෙනාගෙන් කිසිවෙකු මෙරට සමාජය හා සම්බන්ධ නොවු බවත්, සංචාරකයන් මෙරටට ගෙන්වීම ජෛව බුබුළක් ලෙස ක්‍රියාත්මක වූ බැවින් අසාදිතයන් සමාජයට වාර්තා නොවු බවද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ඒහිදී වැඩිදුරටත් කීවාය.

සංචාරකයන් මෙරටට පැමිණීම අඩාල කිරීම සදහා විපක්ෂය හිතාමතා ම කටයුතු කරන බවත් , සංචාරකයන් මෙරටට ගෙන්වීම හරහා මෙරට කොවිඩ් වසංගතය පැතිර ගිය බවට ඔවුන් චෝදනා නගන්නේ එනිසා යැයිද සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම සාකච්ඡාවේදී කියා සිටියේය. 

ඔවුන්ට අවශ්‍ය ව ඇත්තේ සංචාරකයන් මෙරටට ගෙන්වීම නතර කිරීම බවත් ඒ සදහා ජනතාව අතර බොරු බියක් ඇති කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය. මෙරටට සංචාරකයන් ගෙන්වීමේ කටයුතු වේගවත් කිරීම සදහා කඩිනමින් මාර්ග සැලැස්මක් (Road Map) සකස් කරන ලෙස ද ඇමතිවරයා මෙහි දී බළධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඒ සදහා පවතින ගැටළු, ගත යුතු ක්‍රියාමාර්ග, තෝරා ගත යුතු රටවල් හා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වාර්තාවක් දින දෙකක් තුළ තමන්ට ලබාදෙන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය. 

සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වැඩ බලන කළමණාකරණ අධ්‍යක්ෂක මධුභාණි පෙරේරා, සංචාරක කටයුතු පිළිබද ඇමති උපදේශක කමිටු සාමාජිකයන් වන චන්ද්‍රා වික්‍රමසිංහ, හිරාන් කුරේ, නිමේෂ් හේරත්, සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංවිධානයේ ලේකම් නලින් ජයසුන්දර යන මහත්ම මහත්මීහුද සහභාගී විය. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම අමාත්‍යාංශ බලධාරීන් සමග සාකච්ඡාවේ නිරත වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

Classified_Ad

Classified_Ad_News_Bottom