ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ආපසු යෑම ආරම්භ වීමත් සමඟ කන්දහාර් නගරය යළි අත්පත් කර ගැනීමට ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන් සූදානම් වන බව, කන්හාර් වැසියන් සිය ගණනින්, නගරය අතහැර ආරක්ෂිත ප්‍රදේශවලට පලා යෑම ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ දකුණු දෙසින් පිහිටි කන්දහාර එරට දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙයි. තලේබාන් ග්‍රහණයේ පැවැති කන්දහාර් නගරය මුළුමනින්ම මුදා ගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා සමත් වී තිබුණි.
ඒ අනුව, යුද ගැටුම් හේතුවෙන් නගරය අතහැර පලාගොස් සිටි කන්දහාර් වැසියෝ යළි ඔවුන්ගේ නිවාස බලා පැමිණ සිටියහ.
තලේබාන්වරුන් තමන්ගෙන් පළිගනු ඇතැයි බියෙන් මේ වනවිට කන්දහාර් වැසියන් ආරක්ෂිත ස්ථාන සොයා පලා යමින් සිටින බවත් එය ඉතාමත් ඛේදනීය තත්ත්වයක් බවත් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.
මේ අතර, තලේබාන් සංවිධානය පසුගිය සති දෙකක කාලයේදී කන්දහාර් සිවිල් වැසියන් 33 දෙනකු ඝාතනය කර ඇතැයි ‘ඇෆ්ගනිස්තාන ස්වාධීන මානව හිමිකම් කොමිසම’ සඳහන් කරයි.
කන්දහාර් ආගමික නායකයන්, විද්වතුන්, සිවිල් සමාජ නායකයන්, ප්‍රභූන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආකරක්ෂකයන්, මාධ්‍යවේදීන්, මාධ්‍යවේදිනියන්, ගෝත්‍රික නායකයන් මෙලෙස ඝාතනයට ලක් වුණු බව ඇෆ්ගනිස්තාන ස්වාධීන මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශක සබිහුල්ලා ෆර්හාන්ග් මාධ්‍ය හමුවේ පවසා තිබේ. 'යුධ නීතියට අනුව සිවිල් වැසියන්ට හානි කරන ඕනෑම සංවිධානයක් කරන්නේ යුධ අපරාධයක්' යැයි ද මෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.
෴ උපුටා ගැනීම - AP