අනාගතය අවිනිශ්චිත බව බ්‍රසීල ජනාධිපති කියයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 30, 2021

අනාගතය අවිනිශ්චිත බව බ්‍රසීල ජනාධිපති කියයි

තම අනාගතය අවිනිශ්චිත බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පවසයි. බ්‍රසීල ජනාධිපතිවරණය ලබන 2022 වසරේ පැවැත්වීමට නියමිත අතර, බොල්සරානෝ යළි ජනාධිපති ධුරය අපේක්ෂාවෙන් සිටී. 

ජනාධිපතිවරණයෙන් තමන්ට ජයග්‍රහණය කිරීමට නොහැකි වුවහොත්, එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිරදඩුවම් විදීමට සිදුවනු ඇති බව හෙතෙම පැහැදිලි කර තිබේ. ජනාධිපතිවරයා මෙසේ කියා ඇත්තේ එම චෝදනා සියල්ල දේශපාලන පළිගැනීම් බව ද පෙන්වා දෙමිනි. 

ඊට අමතරව, තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති බැවින්, තමන්ට මියයෑමට පවා සිදුවනු ඇති බව ද ජනාධිපති බොල්සරානෝ පවසා ඇත. 'මගේ අනාගතය අවිනිශ්චිතයි. එක්කෝ මාව අත්අඩංගුවට ගනීවි. නැතිනම් මා මරා දමාවි. එහෙමත් නැතිනම් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න මට හැකිවේවි.' යැයි 66 හැවිරිදි බොල්සරානෝ මෙසේ පැවැසුවේ ඔහුගේ පක්ෂ ආධාරකරුවන් අමතමිනි. 

බොල්සරානෝ නියෝජනය කරන්නේ බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික බල කඳවුරය. ඔහුට මේවනවිටත් වාමාංශික බල කඳවුරට නායකත්වය දෙන හිටපු ජනාධිපතිවරයකු ද වන ලූලා ද සිල්වාගෙන් අභියෝගයක් එල්ල වී අවසන්ය. 

බ්‍රසීල වැසියන් බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ, දූෂණ චෝදනාවලට වරදකරු වී, සිරදඩුවම් විඳ යළි දේශපාලනයට පිවිසෙන ලූලා ද සිල්වා 2022 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇති බවය.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom