උඩු ගුවනේ දරු ප්‍රසූති - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 30, 2021

උඩු ගුවනේ දරු ප්‍රසූති

ඇෆ්ගන් තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කරමින්, ගුවන් මගින් ඇෆ්ගනිස්තානයෙන් පලා යමින් සිටි 26 හැවිරිදි ඇෆ්ගන් ගැබිනි මවක ගුවන් යානය තුළ සිය දරු ප්‍රසූතිය සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

සෝමන් නූරි නමැති මෙම කාන්තාව සමග 30 හැවිරිදි සැමියා මෙන්ම අනෙක් දරුවන් දෙදෙනා ද මෙම යානයේ සිට ඇත. සෝමන් නූරි ට පුතුන් දෙදෙනක් සිටිති. 

සෝමන් නූරි සහ ඇගේ පලුලේ සාමාජිකයන් පමණක් නොව, ඇෆ්ගන් තලේබාන් පාලනයෙන් බේරී පලා යන තවත් ඇෆ්ගන් සිවිල් වැසියන් ද පිරිසක් කාබුල් සහ ඩුබායි හරහා බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් බලා රැගෙන යෑම සිදුවූයේ තුර්කි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකිනි. 

සෝමන් නූරි සහ මෙම ගුවන් යානයේ සිටි සෙසු ඇෆ්ගන් වැසියන් පිරිස කාබුල් අගනුවරින් පිටත් වී ඇත්තේ, තලේබන්වරුන් කාබුල් අල්ලා ගැනීමටත්, කාබුල් ගුවන් තොටුපොළ වාණිජ ගුවන් යානා සඳහා වසා දැමීමටත් පෙර යැයි ද පැවැසෙයි. 

අඩි 30,000 ක් උස දී ඇය දරු ප්‍රසූතිය සිදුවුණු බවත්, ගුවන් සේවිකාවන්ගේත් ගුවන් යානයේ සිටි සෙසු ඇෆ්ගන් කාන්තාවන්ගේත් සහාය නූරි ට හිමිවුණු බව පැවැසෙයි. උපත ලැබුවේ දියණියකි. යානයේ වෛද්‍යවරයකු නොසිටි නමුත් ගුවන් සේවිකාවන්ට දරු ප්‍රසූතියකදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පුහුණුවක් ලැබී තිබුණි.

එම පුහුණුව තමන්ට උපකාරී වුණු බවත්, බිලිඳියත් මවත් යහතින් බර්මින්හැම් වෙත රැගෙන යෑමට හැකිවුණු බවත් ගුවන් සේවිකාවෝ පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේ මහත් ආඩම්බරයකිනි. 

දරු ප්‍රසූතිය සිදුවූයේ සවස් කාලයේ බැවින්, බිලිඳියට 'හවා' යන නම තැබුණු බව ද පැවැසෙයි. 'හවා' යන්නෙහි අරුත 'සැන්දෑව' යන්නය. 

මේ අතර, ඇමෙරිකා හමුදා ඇෆ්ගන් සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් අතරතුරේ දරු ප්‍රසූති තුනක් සිදුවුණු බව පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි පවසා ඇත. සී 17 හමුදා ගුවන් යානයකදී එක් දරුවකු උපත ලැබූ බවත්, ජර්මනියේ රැම්ස්ටීන් ගුවන් කඳවුරේ රෝහලකදී තවත් දරුවන් දෙදෙනකු උපත ලැබූ බවත් ජෝන් කර්බි වැඩි දුරටත් පවසා ඇත. 

උපත ලැබූ එම දරුවන්ට ඇමෙරිකන් පුරවැසිභාවය හිමිවෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන්ට යමක් කිව නොහැකි බව ද මාධ්‍ය ලේකම් ජෝන් කර්බි පැහැදිලි කර තිබේ. 
ඇමෙරිකාවෙන් පිටත තිබෙන ඇමෙරිකාවට අයත් හමුදා කඳවුරු ඇමෙරිකානු භූමිය ලෙස නොසැලෙකන බවත් උපතේදී පුරවැසි අයිතියට ඒවා නොසලකන බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසි සහ සංක්‍රමණික සේවා කාර්යාංශය සඳහන් කළේය. 

ඇමෙරිකාවේ ලියාපදිංචි ගුවන් යානයක උපත ලැබුව ද එය ඇමෙරිකානු ගුවන් අවකාශයට පිටත කලාපයක් නම් උපත ලබන දරුවන් ඇමෙරිකානු පුරවැසියන් ලෙස නොසලකන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom