ඊශ්‍රායල අගමැති බෙනට් ඇමෙරිකන් ජනපති හමුවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 29, 2021

ඊශ්‍රායල අගමැති බෙනට් ඇමෙරිකන් ජනපති හමුවෙයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. නෆ්තාලි බෙනට් ඊශ්‍රායල අග්‍රාමාත්‍යයරයා ලෙසත් ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපතිවරයා ලෙසත් මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි. රාජ්‍ය නායකයන් දෙදෙනාගේ හමුව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී පැවැත්විණි. 

ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ ඇමෙරිකන් ජනාධිපතිවරයා අතරේ සාකච්ඡා සිදුවිය. කෙසේ නමුත් දෙදෙනාගේ වැඩි අවධානය යොමු වූයේ ඉරානය සම්බන්ධයෙන්ය. 

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා යළි ආරම්භ කිරීමට තමන් උත්සාහ ගන්නා බවත්, යම් හෙයකින් එම සාකච්ඡා අසාර්ථක වුවහොත්, ඉරානය සම්බන්ධයෙන් ඕනෑම ආකාරයක දැඩි තීරණයක් ගැනීමට පසුබට නොවන බව ජනාධිපති බයිඩන් පැහැදිලි කළේය. 

මෙය ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ සතුටට හේතුවක් වුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, න්‍යෂ්ටික අවි නිපදවීමට කිසිසේත් ඉරානයට ඉඩ නොතබන බව ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සහතිකයක් ද ලබා දුන්නේය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවට ගියේ පසුගිය සතියේය. 

නෆ්තාලි බෙනට් සහ බයිඩන් අතර හමුව බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වීමට නියමිත වුවත්, කාබුල් අගනුවර සිදුවුණු ප්‍රහාර හේතුවෙන් එය ඊයේ (28) තෙක් කල් දැමුණි. 

ඊශ්‍රායලය, ඉරානය ත්‍රස්ත රාජ්‍යයක් ලෙස සලකන අතර, මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාවේ සමීපතම මිතුරා වන්නේ ඊශ්‍රායලයයි. ලොව එකම යුදෙව් රාජ්‍යය වන්නේ ද ඊශ්‍රායලයයි. 

ඇමෙරිකාව, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ වීම හෝ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීම හෝ ඊශ්‍රායලයේ නොසතුටට හේතුවකි. ඒ, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින එදිරිවාදිකම් නිසාය. 

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom