තෙවැනි එන්නත් මාත්‍රාව ප්‍රමාද කරන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 11, 2021

තෙවැනි එන්නත් මාත්‍රාව ප්‍රමාද කරන්න

'කොවිඩ් 19' වයිරසට එරෙහිව ප්‍රවර්ධකයක් (බූස්ටර්) ලෙස තෙවැනි එන්නත් මාත්‍රාවක් 2022 වසර තෙක් කල් දමන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකාව ඇතුළු බටහිර ධනවත්රටවලින් ද ඊශ්‍රායලයෙන් ද ඉල්ලීමක් කර තිබේ. 

තෙවැනි මාත්‍රාවකට කලින් පළමුවෙන් කළ යුත්තේ පළමු සහ දෙවැනි මාත්‍රා ලෝකවාසී සියලුදෙනාටලබා දීම බවත්, තෙවැනි මාත්‍රාවක් ලබාදීම ඉන්පසු 2022 දී සිදුකළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය බටහිර ධනවත් රටවලට පෙන්වා දී ඇත.

''මා ධනවත් රටවලින් ඉල්ලීමක් කරනවා. බූස්ටර් එන්නත් ලබා දීමට හදිසි වෙන්න එපා. කොරෝනා වසංගතයෙන් මිදීමට නම්, ලොව සෑම කෙනකුම එන්නත් කළ යුතුයි. එසේ නොවුණොත් විටින් විට කොරෝනා වයිරසයේ විකෘති පැතිරෙන්න පටන් ගනීවි. ධනවත් රටවල් ඔවුන්ගේ වැසියන්ට පළමු සහ දෙවැනි එන්නත් ලබා දී ඇති නමුත් ඉතිරි එන්නත් ලොව සෙසු සැමට බෙදා දීමයි කළ යුත්තේ. ලෝකයේ සෑම කෙනකුටම පළමු සහ දෙවැනි එන්නත් ලබා දීමෙන් පසු ලබන 2022 වසරේ සිට බූස්ටර් එන්නත් ලබා දීම කළ යුතුයි.'' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවේදී අවධාරණය කර තිබේ. 

ප්‍රවර්ධක එන්නත් ලබා දීම ප්‍රමාද කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා බටහිර රටවලින් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කළ දෙවැනි අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊශ්‍රායලය එරට වැසියන්ට ලබා දුන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නතය. ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත් ලබා දීමෙන් පසුව යළිත් ආසාදිතයන් වැඩි වීමට පටන් ගැනුණි. 

ඊට හේතුව වූයේ 'ඩෙල්ටා' විකෘතියේ ව්‍යාප්තියයි. ඒ අනුව, 'ෆයිසර්' එන්නත් පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගත් සැමට තෙවැනි එන්නත් මාත්‍රාවක් ද ලබා දීම සිදුවිය. මේ වනවිට ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය ආදී බටහිර රටවල් ද තෙවැනි එන්නත් මාත්‍රාව එරට වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, තවමත් රටවල් රැසක එක් එන්නතක් හෝ ලබා නොගත් බොහෝ දෙනකු සිටින බවය. 

මේ අතර 'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘති ප්‍රභේදයට වඩා බිහිසුණු මාරක කොරෝනා වයිරස විකෘතිවලට මුහුණ දීමට ලෝකවාසීන්ට ඉදිරියේ දී සිදුවනු ඇති බවත්, කෙරෝනා වසංගතයට අනුගත වෙමින්, සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින්, යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් නව සාමාන්‍යකරණයක් යටතේ ජීවත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීම් කර ඇත. 

මෙසේ අනතුරු අඟවා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග සම්බන්ධ විශේෂඥයන්ය. මේ වනවිටත් 'ඩෙල්ටා' විකෘතියට නොදෙවැනි ලෙස 'ලැම්බ්ඩා' විකෘතිය ව්‍යාප්තවීමට පටන්ගෙන ඇති බවත්, 'මූ' සහ 'සී.1.2' යන විකෘති 'ඩෙල්ටා' සහ 'ලැම්බ්ඩා' වයිරස විකෘතිවලට වඩා බිහිසුණු වනු ඇති බවත් එන්නත්වලින් පවා මට්ටු කළ නොහැකි බවත් විශේෂඥයන් බිය පළකර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය 'මූ' සහ 'සී.1.2' වයිරස විකෘති ගැන අවධානයෙන් පසුවන බව ද වාර්තා වේ.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom