පුපුරන ගිනි කන්ද උඩට පේනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 28, 2021

පුපුරන ගිනි කන්ද උඩට පේනවා

ස්පාඤ්ඤයට අයත් කැනෑරි දූපත් අතරින් එකක් වන 'ලා පල්මා' දූපතේ සක්‍රිය වූ ගිනි කන්ද සතියකට පමණ පසු යළිත් වරක් ප්‍රබල ලෙස පුපුරා යෑම ආරම්භ වී ඇති බවත්, ගිනි කන්දෙන් නිකුත් වන දුම්වලා සහ ලාවා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට පවා පැහැදිලිව පෙනෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

'ලා පල්මා' දූපතේ ගිනි කන්ද පුපුරා යන අයුරු පෙනෙනවා යැයි පවසමින් එහි ඡායාරූප පවා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කළේ මේ වනවිට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ප්‍රංශ ගගනගාමී තෝමස් පැස්කේය. ඊට අමතරව, උඩු ගුවනේ රඳවා ඇති භූමි නිරීක්ෂණ චන්ද්‍රිකා රැසකින් ලබාගත් ගිනි කන්ද පුපුරා යන අයුරු දැක්වෙන ඡායාරූප විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. 
පුපුරා යන්නේ 'ලා පල්මා' දූපතේ කඳුකරයේ පිහිටි 'කුම්බ්රේ වෙයිජා' ගිනි කන්දය. ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වූයේ පසුගිය 19 වැනිදාය.‍ මීට පෙර, 1949 දීත් 1971 වසරේදිත් මෙම ගිනි කන්ද සක්‍රීය වී පුපුරා ගොස් ඇත. 

මේ වනවිට, භූමියේ සිදුවී ඇති වෙනස්වීම් හේතුවෙන්, 'කුම්බ්රේ වෙයිජා' ගිනි කන්ද බිමට සමතලා වීමේ අවදානමක් පවතින බව ගිනිකදු (යමහල්) විද්‍යාඥයන් බිය පළ කරයි. එසේ වුවහොත් ගිනි කන්ද පිහිටි ප්‍රදේශය මුළුමනින්ම විනාශ වනු ඇති බවත් මූදේ ගිලෙනු ඇති බවත් භූ විද්‍යාඥයෝ බිය පළ කරති. 
'ලා පල්මා' දූපතේ ජනගහනය 84,793 කි. දූපතේ ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 708 කි. ගිනි කන්දෙන් නිකුත් වූ ලාවා ගලා ඒමෙන් මේ වනවිට නිවාස 350 කට වඩා විනාශ වී තිබේ. අනාරක්ෂිත ප්‍රදේශවල සිටි සියලු දෙනා කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ. 

එහෙයින්, කිසිදු ජීවිත හානියක් වාර්තා වන්නේ නැත. ස්පාඤ්ඤ පුවත් සේවා වාර්තා කළේ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ දූපත්වාසීන් ගණන 6,000 කට වැඩි බවය. එසේ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ පිරිස අතරේ විදෙස් සංචාරකයන් 500 කට වැඩි පිරිසක් ද සිටින බව පැවැසෙයි. 

කැනේරි දූපත් සංචාරක ආකර්ශණයකි. දූපතේ කෙසෙල් වගා කර ඇති හෙක්ටයාර් සිය ගණනක් ද මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. කෙසෙල් වගා බිම් සහ නිවාසවලට අමතරව දූපතේ රෝහල් ද ලාවාවලට හසුවීමෙන් විනාශ වී ගොස් තිබේ. ස්පාඤ්ඤ පුවත් සේවා වාර්තා කර ඇති පරිදි මේ වනවිට දූපතේ යටිතල පහසුකම් මුළුමනින්ම පාහේ අඩපණ වී තිබේ. 
දූපත් ආණ්ඩුකාර ඇන්ගල් වික්ටර් ටොරේස් පවසා ඇත්තේ ලාවවලින් සහ ගිනි ගැනීම්වලින් සිදුවුණු හානිය පවුම් මිලියන 340 කට වඩා වැඩි බවය. සිදුවුණු හානිය අතිමහත් බවත්, ජන ජීවිතයට එල්ල වුණු බලපෑම වචනයෙන් විස්තර කළ නොහැකි බවත් ආණ්ඩුකාරවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. 

මේ අතර ගිනි කන්දෙන් නිකුත් වන දුම්වලා කිලෝ මීටර් දෙකකට වැඩි දුරක් ව්‍යාප්තවීම හේතුවෙන් දූපත අසලින් ගුවන් ගමන් ද තහනම් කෙරුණි. මේ වනවිට 'ලා පල්මා' ගුවන්තොටුපොළ ද වසා දමා ඇති බව වාර්තා වේ. දූපත හැර යන පිරිස් බෝට්ටු මාර්ගයෙන් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යෑමට පොලිසිය, ගිනි නිවන හමුදාව උදව් කරන බව ද පැවැසෙයි.

෴ උපුටා ගැනීම - Daily Mail

Classified_Ad

Classified_Ad_News_Bottom