ස්පුට්නික් එන්නතට අනුමැතිය හිමිවන ලකුණු - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 8, 2021

ස්පුට්නික් එන්නතට අනුමැතිය හිමිවන ලකුණු

රුසියාවේ 'ස්පුට්නික් 5' කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කිරීමට අදාළ ක්‍රියාවලිය යළි ආරම්භ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලොව පළමුවෙන් නිපදවූ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත මෙන්ම ලොව පළමුවෙන් ලියාපදිංචි කළ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ද මෙම 'ස්පුට්නික් 5' ය. 

කෙසේ නමුත් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය එය අනුමත කර නැත. ඒ, එන්නතේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දත්ත නොමැති බව පවසමිනි. එසේ වුවත් අද ලොව රටවල් 45 ක් ඔවුන්ගේ අභිමතය පරිදි 'ස්පුට්නික් 5' එන්නත භාවිත කරයි. රුසියානුවන්ට ලබා දෙන්නේ ද මෙම 'ස්පුට්නික් 5' එන්නත වන අතර රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද එන්නතේ නියමිත මාත්‍රා දෙකම ලබා ගෙන තිබේ.

'ස්පුට්නික් 5' රුසියානු රජයට අයත් 'ගැමලේයා' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නතය. ලොව භාවිතයට ගන්නා අනෙක් එන්නත් මෙන් නොව, 'ස්පුට්නික් 5' එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රා එකිනෙකට වෙනස්ය. 

මේ වනවිට 'ගැමලේයා' ඖෂධ නිෂ්පාදන සමාගම 'ස්පුට්නික් 5 ලයිට්' යනුවෙන් එක් මාත්‍රාවක එන්නතක් ද නිපදවා තිබේ. මෙය ද ලොව රටවල් කීපයක භාවිතයට ගැනෙයි. පසුගිය කාලය පුරාවට තම එන්නත අනුමත කරන්නැයි රුසියානු රජය, සෞඛ්‍ය අමත්‍යාංශය සහ ගැමලේයා ආයතනය අවස්ථා කීපයකදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටිය ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණි. 

ඒ‍, සෑම අවස්ථාවකදීම, ලෝක සෞඛ්‍ය සංවිධානය, 'ස්පුට්නික් 5' එන්නත නොයෙක් නොයෙක් අඩුපාඩු පෙන්වා දෙන්න විය. මේ සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති පුටින් චෝදනා නගන්න වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට එන්නත්වලට පමණක් මුල්තැන දෙන බවත්, බටහිර රටවල් සමඟ පවතින එදිරිවාදිකම් නිසා රුසියානු එන්නත 'කොන් කිරීමකට' ලක් කර ඇති බවත්ය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි පෙන්වා දෙමින් පළමුවෙන් අනුමැතිය ලබා දුන්නේ 'ෆයිසර්' එන්නතටය. ඉන්පසු 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා', 'මොඩර්නා', 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' යන එන්නත්වලට අනුමැතිය ලබා දුන්නේය.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom