නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන්ට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Oct 8, 2021

නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන්ට

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය, පිලිපීන මාධ්‍යවේදිනියක වන මරියා රෙසා සහ රුසියන් මාධ්‍යවේදී දිමිත්‍රි මුරටෝව් අතරේ සමව බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. 

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කරමින්, භාෂණයේ නිදහස වෙනුවෙන් කටයුතු කළ මාධ්‍යවේදීන් දෙදෙනකු ලෙස තමන් මරියා රෙසා සහ දිමිත්‍රි මුරටෝව් හඳුනා ගත් බැවින්, ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කරන බව නෝර්වේජියානු නොබෙල් කමිටුව හේතු පාඨ වශයෙන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

''ප්‍රජාතන්ත්‍රවාදයටත් මාධ්‍ය නිදහසටත් තර්ජන එල්ල වෙද්දී, මාධ්‍යවේදීන් ලෙස තම වගකීම් නොපිරිහෙලා ඉටු කළ දෙදෙනකු ලෙස මරියා රෙසා සහ දිමිත්‍රි මුරටෝව් හඳුන්වා දෙන්න පුළුවන්'' යැයි නොර්වේ ඔස්ලෝ නුවර පැවැති මාධ්‍ය හමුවේ දී නෝර්වේජියානු නොබෙල් කමිටුවේ ඵ්‍රධානී බෙරිට් රියෙස් ඇන්ඩර්සන් වැඩි දුරටත් පෙන්වා දුන්නේය. 

1935 වසරෙන් පසු මාධ්‍යවේදීන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවුණු පළමු අවස්ථාව මෙයයි. මීට පෙර ජර්මනියේ කාර්ල් වොන් ඔසියට්ස්කි එරට රහසිගත ආයුධ වැඩසටහනක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම වෙනුවෙන් 1935 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ ය. 

මරියා රෙසා පිලිපීනයේ කීර්තිමත් ගවේෂණාත්මක මාධ්‍යවේදිනියකි. 'රපෙලර්' නමැති පිලිපීන පුවත් වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ ඇයයි. පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගෙන යන ආන්දෝලනාත්මක 'යුද්ධයේ' සැබෑ තතු පිලිපීන වැසියන්ට අනාවරණය කළ මාධ්‍යවේදිනියක ලෙස මැය ප්‍රකටය. 

'ඇත්තටම පුදුමයි. සම්මාන බලාගෙන මා පුවත් අනාවරණ කළේ නැහැ. ඒත් නොබෙල් සාම ත්‍යාගය මට හිමිවේවි යැයි මා කිසිදිනෙක සිතුවේ නැහැ. පුදුමයි.' යැයි නොබෙල් සාම ත්‍යාගය හිමි වන බව දැනගත් අවස්ථාවේදී මරියා රෙසා පවසා තිබේ. 

දිමිත්‍රි මුරටෝව් අත්දැකීම් බහුල මාධ්‍යවේදියකු පමණක් නොව, 'නොවායා ගැසෙටා' පුවත්පතේ කර්තෘවරයා ද වෙයි. 1993 වසරේ ආරම්භ කළ මෙම පුවත්පතේ කර්තෘවරයා ලෙස දිමිත්‍රි මුරටෝව් වසර 24 කට වැඩි කාලයක් එහි සේවය කරයි. රුසියාවේ ස්වාධීන පුවත්පත් ඇත්තේ අතලොස්සක් වන අතර, ඒ අතරින් ජනතා විශ්වාසය දිනූ පුවත්පතක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ද 'නොවායා ගැසෙටා' ය. 

නිරන්තරයෙන් රුසියන් ජනාධිපති පුටින් සහ රජය විවේචනය කරන පුවත්පතක් වුවත්, නොබෙල් සාම ත්‍යාගය දිමිත්‍රි මුරටෝව් ට පිරිනැමීමට නොබෙල් කමිටුව තීරණය කළ අවස්ථාවේදී රුසියානු රජය ඔහුට සුබ පතා ඇතැයි ද වාර්තා වේ. 

නොබෙල් සාම ත්‍යාගය පිරිනැමෙන්නේ ලෝකය යහපත් තැනක් කරමින් ලෝක සාමයට මුල්තැන දෙන පුද්ගලයන් සහ ආයතනවලටය. පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුනේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනටය. ඒ, ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීම වෙනුවෙනි. නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 1.1 කට වඩා වැඩි මුදලක් සහ රන් පදක්කම් පිරි නැමෙයි. මෙම ත්‍යාග මුදල මෙවර මරියා රෙසා සහ දිමිත්‍රි මුරටෝව් අතරේ සමව බෙදී යනු ඇත.

෴ උපුටා ගැනීම - REUTERS


Classified_Ad

Classified_Ad_News_Bottom