මනුෂ්‍ය වර්ගයාට ලැබෙන අවසන් අවස්ථාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Nov 1, 2021

මනුෂ්‍ය වර්ගයාට ලැබෙන අවසන් අවස්ථාව

කාලගුණය සහ දේශගුණය යනු කුමක්ද? කාලගුණය සහ දේශගුණය අතරේ සම්බන්ධයක් ඇති නමුත්, නිරූපණය වන්නේ අර්ථ දෙකකි. කාලගුණය යනු කෙටි කාලසීමාවක, පැය කීපයක් හෝ දින කීපයක් ඇතුළත වායුගෝලය හැසිරෙන ආකාරයයි. 

දේශගුණය යනු දිගු කාලීනව, මාස ගණනක් හෝ අවුරුදු ගණනක් තිස්සේ පරිසරයේ සිදුවන වෙනස්වීම්ය. මේ වනවිට එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුව ආරම්භ වී ඇත. COP26 යන නමින් හැඳින්වෙන මෙම සමුළුව පැවැත්වෙන්නේ මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරය. මෙම සමුළුව එසේ මෙසේ එකක් නොවෙයි. මෙය ඉතාමත්ම වැදගත් ජාත්‍යන්තර සමුළුවකි. 

මානව වර්ගයාගේ පැවැත්ම සහ අනාගතය රැඳී පවතිනු ඇත්තේ ලොව බලවත් සහ ධනවත් රාජ්‍ය නායකයන් මෙම සමුළුවේදී ගන්නා තීන්දු තීරණ අනුවය. COP26 සමුළුව අසාර්ථක වුවහොත්, එය මානව වර්ගයාගේ අවසානය වනු නිසැකය. සමුළුව පැවැත්වෙන්නේ දේශගුණික විපර්යාස පිටුදැකීම සඳහා තීන්දු තීරණ ගැනීමටය. අද වනවිට අන් කවරදාටත් වඩා වැඩි වේගයකින් දේශගුණික විපර්යාස පිළිබඳ අපට අසන්න ලැබේ. 

ඊට හේතුව ද අප ය. බලශක්ති උත්පාදනයට අප ඉන්ධන (තෙල්), වායු සහ ගල් අඟුරු භාවිතයට ගැනීමය. කර්මාන්තශාලා පවත්වාගෙන යෑමටත් නිවෙස්වල එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමටත් බලශක්තිය අවශ්‍ය වෙයි. ජගහහනය දිනෙන් දින ඉහළ යද්දී ඉන්ධන, වායු සහ ගල් අගුරු භාවිතය ද ඉහළ ගොස් ඇත. පොදුවේ 'පොසිල ඉන්ධන' යනුවෙන් හැඳින්වෙන්නේ මේවාය. පොසිල ඉන්ධන භාවිතයේ දී, එසේත් නැතිනම් දහනයේදී, පරිසරයට අහිතකර දෙයක් මුදා හැරීම සිදුවෙයි. 

මෙම අහිතකර දේ හරිතාගාර වායු ය. ප්‍රධාන වශයෙන් කාබන්ඩයොක්සයිඩ් වායුවය. මේ හරිතාගාර වායු පෘථිවියට ලැබෙන හිරුගේ තාපය සිරකර තබා ගනී. එහි ප්‍රතිඵලයක් ලෙස පෘථිවියේ එසේත් නැතිනම් මිහිමත උණුසුම ඉහළ යයි. මිහිමත ජීවය පවතින්නේ, අඩුත් නැති වැඩිත් නැති උණුසුමක් පවතින බැවිනි. 

මිහිමත උණුසුම් වීම යනු මනුෂ්‍ය අප ද ඇතුළු සියලු ජීවීන්ගේ පැවැත්මට විශාල තර්ජනයකි. මෙම තර්ජනය දිනෙන් දින වැඩි වෙනවා මිස අඩුවන්නේ නැත. 19 වැනි සියවසේ පැවැතියාට වඩා අද අපගේ ලෝකය සෙල්සිස් අංශක 1.2 කින් උණුසුම් වී ඇත. වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය මේවනවිට සියයට 50 කින් ඉහළ ගොසිනි. 

ජීවත් වීමට සුදුසු වටපිටාවක් ඇති කර ගැනීමට නම්, ඉහළ යන උෂ්ණත්වය පහළ දැමිය යුතුය. විද්‍යාඥයන්ට අනුව, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම කළ යුතුය. දැනට පවතින අහිතකර තත්ත්වය අනුව, ලෝකය උණුසුම් වන වේගය අනුව, මෙම සියවස අවසන් වෙද්දී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 කට වඩා ඉහළ යනු ඇත. මෙය අනාගතයේ දිනෙක සෙල්සියස් අංශ 4 සීමාවට ළං වුවහොත් එදාට පෘථිවිය ජීවයෙන් තොර කාන්තාරයක් වනු ඇත. 

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම යනු, රස්නය වැඩිවීමක් යැයි ඔබ සිතනවා නම් එය වරදකි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යද්දී, කාලගුණ විපර්යාස ද නිර්මාණය වෙයි. කාලගුණය විපරීත වෙයි. කාන්තාරවලට දැඩි උණුසුමක් හෝ දැඩි සීත කාලයක් උදා වෙයි. මුහුදු මට්ටම ඉහළ යයි. අයිස් දියවෙයි. බිහිසුණු සුළි කුණාටු නිර්මාණය වෙයි. වගා විනාශ වෙයි. බීමට ජලය හිඟ වෙයි. දිය උල්පත් සිඳී යයි. මනුෂ්‍ය අප ද ඇතුළු පෘථිවියේ පණ ඇති සියලු දෙනාට මෙය බලපායි. මිනිස් ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් අපේ ඇස් පනා පිට වඳ වුණු ජීව විශේෂ ද බොහොමයකි. 

පසුගිය වසරවල සිදුවුණු විපරීත කාලගුණ පෙරැළි අපට අමතක නොවෙයි. ඕස්ට්‍රේලියාව, දැඩි නියං කාලගුණයකට මුහුණ දුන්නා පමණක් නොව, පාලනය කර ගැනීමට නොහැකි ළැව් ගිනිවලින් විනාශ විය. මහා බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවලට අධික වර්ෂාපතනයක් ලැබෙන්න විය. හදිසියේ හටගන්නා ජල ගැලීම්වලින් සිදුවන හානිය අතිමහත්ය. 

මැදපෙරදිග රටවල උෂ්ණත්වය තවත් ඉහළ ගිය අතර රටවල් බොහොමයක වගාබිම්වලට හානි සිදුවී ඇත. මුහුදු මට්ටම ඉහළ යද්දී පැසිෆික් සාගරයේ කුඩා දූපත් රැසක් මුළුමනින්ම මූදට බිලි වී ගොසිනි. අපේ අසල්වැසියකු වන මාලදිවයින දූපත් රාජ්‍යය තව වසර කීපයකින් මුහුදේ ගිලෙනු ඇති බවට ද අනාවැකි පළ වී ඇත. අප්‍රිකා රටවල් දැඩි නියං කාලගුණයෙන් සහ සාගින්නෙන් පීඩා විදින බව වාර්තා වේ.

ඇමෙරිකාවට ප්‍රචණ්ඩ සුළි කුණාටු කඩා වදින්නේත්, ඇමෙරිකාවේ බටහිර ප්‍රාන්ත දැඩි වියළි කාලගුණයක් පවතින්නේත් මෙම විපරීත කාලගුණ පෙරැළි නිසාය. හරිතාගාර වායු විමෝචනය අවම කරමින්, මිහිකත උණුසුම් වීම වළක්වා ගැනීමටත් විපරීත කාලගුණ පෙරැළි ඇතිවීම වළක්වා ගැනීමත් කළ යුතුමය. එසේ නොකළහොත් ඩයිනසෝරයන් මෙන් පෘථිවියේ ආධිපත්‍යය පතුරුවන අප වඳවී යෑම අනිවාර්ය වෙයි. ඩයිනසෝරයන් වඳ වී ගියේ යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙනි. ඒත් අප වඳ වී යන්නේ අපගේම ක්‍රියාකාරකම් නිසාය. 

දේශගුණික විපර්යාස එක් රටක් නිසා සිදුවන සිදුවීම් දාමයක ප්‍රතිඵලයක් නොවෙයි. එක් රටකට පමණක් එය නැවැත්වීමට ද හැකියාවක් නැත. දේශගුණික විපර්යාස අවම කර ගැනීමට සහ ගෝලීය උෂ්ණත්වය පහළ දමා ගැනීමත් කළ හැකි වන්නේ සෑම රටක්ම එකමුතුව ගන්නා තීන්දු තීරණ අනුවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මේ සඳහා වේදිකාව සැකසී ඇති අතර, COP26 ආරම්භ වූයේ ඒ අනුවය. 

 2015 දී ප්‍රංශයේ මැදිහත් වීමෙන් ලොව ධනවත් මෙන්ම බලවත් රටවල් එකමුතු වී 'පැරිස් සම්මුතිය' යනුවෙන් සම්මුතියක් ඇති කර ගත්තේය. ඒ, පොසිල ඉන්ධන භාවිතය අවම කරමින්, කාබන් විමෝචනය අවම කිරීමටය. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 කින් අඩු කර ගැනීමටය. 'පැරිස් සම්මුතිය' හා එක් වෙමින් රාජ්‍ය නායකයන් ‍ප්‍රතිඥා දී ඇති නමුත් ගෝලීය උෂ්ණත්වය අවම කිරීමක් සිදුවන්නේ නැත. 

2015 වසරේ පැරිස් සම්මුතිය යටතේ, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සීමාවේ හෝ ඊට අඩුවෙන් හෝ පවත්වා ගැනීමට තීන්දු තීරණ ගැනීම, COP26 සමුළුවට සහභාගී වන රටවල් 200 ක රාජ්‍ය නායකයන්ගේත් නියෝජිතයන්ගේත් ප්‍රධානතම අරමුණය. COP26 සමුළුව වැදගත් වන්නේ මේ නිසාය. 

COP26 සමුළුව පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂාවක් යටතේය. පරිසරයට ආදරය කරන පරිසරවේදීන් දස දහස් ගණනක් ද ග්ලාස්ගෝව් නුවරට රැස් වී සිටින අතර, ඔවුන් ලෝක නායකයන්ට බල කරන්නේ සාකච්ඡා කරමින් සිටිනවාට වඩා කඩිනමින් තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත් බවය. 

එම පරිසර ක්‍රියාකාරීන් අතරේ යොවුන් පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් ද සිටී. 18 හැවිරිදි ග්‍රෙටා තන්බර්ග් පිරිවරා ගනිමින් 10,000 කට වැඩි ක්‍රියාකාරීන් පිරිසක් ග්ලාස්ගෝව් නුවරට පැමිණීම සුවිශේෂී සිදුවීමක් විය. COP26 සමුළුව සාර්ථක කර ගැනීමට ලොව ධනවත් මෙන්ම බලවත් රටවල වගකීමකි. 

ඊට හේතුව, පොසිල ඉන්ධන වැඩි වශයෙන් භාවිත කරන්නේ එම රටවල් නිසාය. 'දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට අපට ඇති හොඳම සහ එකම අවස්ථාව මෙයයි.' යැයි COP26 සමුළුව ආරම්භ කළ අවස්ථාවේදී එහි සභාපති ධුරය හොබවන බ්‍රිතාන්‍ය දේශපාලඥයකු ද වන අලෝක් ෂර්මා මෙන්ම COP26 සමුළුවේ සත්කාරකරු වන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද පෙන්වා දුන්නේ සමුළුව ආරම්භයේදීය. COP26 සමුළුව අසාර්ථක වුවහොත්, එය අපගේත් අපගේ මේ ලෝකයේත් අවසානයේ ආරම්භය වනු ඇත. 

 ලුසිත ජයමාන්න - BBC ඇසුරිනි

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad