COP26 ඇරැඹේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 1, 2021

COP26 ඇරැඹේ

දේශගුණික විපර්යාස පිටුදැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුළුව හෙවත්, COP26 අද (1) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර දී ආරම්භ වෙයි. ඒ, විශේෂ ආරක්ෂාවක් යටතේය. 

මානව ක්‍රියාකාරකම් හේතුවෙන්, ගෝලීය උෂ්ණත්වය අන් කවරදාටත් වඩා ඉහළ යමින් පවතින බවත්, එය මානව වර්ගයාගේ ඉදිරි පැවැත්මට බරපතල තර්ජනයක් බවත්, පොසිල ඉන්ධන දහනය ආදී මිනිස් ක්‍රියාකාරකම් හැකිතාක් අවම කළ යුතු බවත් සමුළුවට පෙර ජගත් මහ ලේකම් ගුටරේස් සමුළුවට සහභාගී වන ලොව ප්‍රබල නායකයන්ට පෙන්වා දී ඇත. 

දේශගුණික විපර්යාස සහ ඒවා ඇතිවීමට හේතු සාධක හඳුනා ගනිමින්, ඒවා පිටුදැකීමට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් COP26 සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතය. අද (1) සහ හෙට (2) ලෝක නායකයන් වෙනුවෙන් සමුළුව වෙන් වනු ඇත. ඉන්පසු ලබන නොවැම්බර් 12 වැනිදා තෙක් සමුළුව පැවැත්වෙන අතර, පරිසරවේදීන්, විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු ලොව පිළිගත් විද්වතුන් රැසක් ඊට සහභාගී වී දේශන පැවැත්වීම සිදු කරනු ඇත. 
අද (1) සිට ලබන 12 වැනිදා දක්වා දිනපතා සමුළුවේ ආරක්ෂාවට පොලිසියේ 10,000 බැගින් යෙදවෙයි. ඊට අමතරව දිනපතා හමුදා නිලධාරීන් 4,000 ක් ද පොලිසියේ සහායට යොදවන බව ස්කොට්ලන්ත බලධාරීහු පවසති. යුරෝපා පරිසර ක්‍රියාකාරීන්ගෙන් සමුළුවට බාධා එල්ල විය හැකි යැයි ආරක්ෂක අංශ බිය පළ කර ඇත. විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ ඒ අනුවය. 

දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවට ලෝකයා පැමිණ ඇති බවත්, ග්ලාස්ගෝව් සමුළුවේ දී පැහැදිලි තීන්දු තීරණ ගැනීමට නොහැකි වුවහොත් එය මනුෂ්‍ය වර්ගයාගේ අවසානය ආරම්භ වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. 

COP26 සමුළුවට, රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වනු ඇත. 

ස්කොට්ලන්තය එක්සත් රාජධානියේ කොටසක් වන අතර, එක්සත් රාජධානියේ එදාමෙදා පැවැති විශාලතම ජාත්‍යන්තර සමුළුව මෙය වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. සමුළුවට දෙවැනි එලිසබත් මහ රැජින සහභාගීවීමට නියමිතව සිටියත්, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇය සමුළුවට සහභාගී නොවනු ඇති බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනය දැක්වෙයි.

'ජී20' රාජ්‍ය නායක සමුළුව ඊයේ (31) සහ පෙරේදා (30) දිනවල රෝමයේ පැවැත්විණි. එම සමුළුවට සහභාගී වුණු ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ලොව ධනවත් සහ බලවත් රටවල රාජ්‍ය නායකයෝ COP26 සමුළුවට සහභාගී වෙති. 
ලෝක නායකයන් මිහිකත උණුසුම්වීම ගැන හෝ පරිසරය සුරැකීම ගැන හෝ කිසිදු තැකීමක් නොකරන බව පෙන්වා දෙන යුරෝපා පරිසර ක්‍රියාකාරීන් රැසක් ග්ලාස්ගෝව් නුවර බලා පිමිණ සිටින්නේ, COP26 සමුළුවට සහභාගී වන ඇමෙරිකාව, චිනය ඇතුළු ලොව ප්‍රබල රටවලට විරෝධය දැක්වීමටය. 

මොවුන් අතරේ යොවුන් පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රෙටා තන්බර්ග් ද සිටී. 18 හැවිරිදි ග්‍රෙටා තන්බර්ග් පිරිවරා ගනිමින් 10,000 කට වැඩි ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (31) ග්ලාස්ගෝව් ප්‍රධාන දුම්රිය නැවැතුම්පොළට පැමිණෙද්දී ඔවුන් පිළිගැනීමට බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom