රටවල් 95 ක් සමඟ පෙත්ත නිපදවනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 17, 2021

රටවල් 95 ක් සමඟ පෙත්ත නිපදවනවා

කිසිදු ලාභයක් අපේක්ෂා නොකර තමන් නිපදවූ 'කොවිඩ් 19' පෙත්ත, සංවර්ධනය වෙමින් පවතින රටවල් 95 ක් සමඟ එක්වී, නිෂ්පාදනය කිරීමටත් විකිණීමටත් අවසර ලබා දෙන බව ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම පවසයි. 

'ෆයිසර්' සමාගම, මෙම බෙහෙත් පෙත්ත නිෂ්පාදනය සහ විකිණීම සම්බන්ධයෙන් ඊට අදාල ගිවිසුම් අත්සන් කිරීම සිදු කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් 'මෙඩිසින්ස් පේටන්ට්' සමාගම සමඟ හවුල් වෙමිනි. 

ඒ අනුව ඉදිරියේ දී සංවර්ධනය වෙමින් පවතින රටවල ඖෂධ සමාගම් සමග එක් වී මෙම බෙහෙත් පෙති නිපදවීම සිදුවුනු ඇත. 'ෆයිසර්' සමාගමේ මෙම 'කොවිඩ් 19' පෙත්ත හැඳින්වෙන්නේ 'පැක්ස්ලොවිඩ්' යන වෙ‍ෙළඳ නාමයෙනි. මෙතෙක් සම්පූර්ණ කළ සායනික පර්යේෂණවලදී 'පැක්ස්ලොවිඩ්' සාර්ථක පෙන්නුම් කර ඇත්තේ 'කොවිඩ් 19' ආසාදිතයන් කඩිනමින් සුවපත් කරමිනි. 

'ෆයිසර්' සමාගම පවසන ආකාරයට වෛද්‍ය උපදෙස් අනුව, 'කොවිඩ් 19' ආසාදිතයන්ට නිවසේ සිට 'පැක්ස්ලොවිඩ්' භාවිතයට ගැනීම කළ හැකිය. ඖෂධය භාවිතයට ගැනීමෙන් රෝහල්ගතවීමට ඇති ඉඩකඩ ද අවහිර වන බව 'ෆයිසර්' සමාගම පවසයි.

'කොවිඩ් 19' ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, එය අඩපණ කිරීමට එන්නතක් සොයා ගැනීමේ තරගයක් පැවැත්වෙද්දී, මෙ‍ෙතක් නිපදවා ඇති, නිපදවමින් පවතින සහ පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ කොරෝනා රෝගීන්ට ලබා දෙමින් ඔවුන් ඉක්මනින් සුවපත් කිරීමටත්, ඔවුන් මරණින් ගලවා ගැනීමටත් වෛද්‍ය පර්යේෂකයෝ උත්සහ ගත්හ. 

ඊට අමතරව, කොරෝනා ආසාදිතයන් සුවපත් කිරීමේ අරමුණින්, නව ඖෂධ නිෂ්පාදනයට ද ලොව ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස, 'කොවිඩ් 19' වසංගතය ආරම්භ වී වසර දෙකක් පමණ ගතවෙද්දී, අදවනවිට විවිධාකාරයේ ඖෂධ වර්ග කොරෝනා රෝගීන් සඳහා නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. පෙති, කරල්, ඉන්හේලර් (ආඝ්‍රානක) සහ නේසල් ස්ප්‍රේ (නාසික දියර ඉසින) එම ඖෂධ අතර වෙයි. මේවා වෛද්‍ය උපදෙස් මත නිවසේ සිට ලබා ගැනීමට හැකි ලෙස නිපදවා ඇත. 

එසේ වුවත්, මේවා තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැත. 'ෆයිසර්' සමාගමේ 'පැක්ස්ලොවිඩ්' බෙහෙත් පෙත්ත ඇමෙරිකාවේ 'මර්ක්' නමැති ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන වයිරසනාශක බෙහෙත් කරලක් වන 'මොල්නුපියවියර්' ඖෂධයට සමාන බව ද පැවැසෙයි. 

 ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ හෝ අනුමැතිය ලැබී නැතත්, 'මොල්නුපියවියර්' හදිසි භාවිතයට සුදුසු යැයි බ්‍රිතාන්‍ය ඖෂධ පාලන අධිකාරිය නිර්දේශ කර තිබේ. ඊට අමතරව, තවත් රටවල් කීපයක් ද 'මොල්නුපියවියර්' මිලදී ගැනීමට සූදානමින් පසුවන බව ද වාර්තා වේ.

෴ උපුටා ගැනීම - BBC

Classified_Ad

Classified_Ad_News_Bottom