මහා බ්‍රිතාන්‍යයට අයත් ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 'කොප්26' (COP26) සමුළුවට සහභාගී වන ලෝක නායකයන් ඇමැතීමට බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින කටයුතු කළාය.
දේශපාලනය අමතක කර, සැබෑ ලෝක නායකයන් ලෙස මානව වර්ගයා වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු බව එලිසබත් මහ රැජින එම අවස්ථාවේදී පෙන්වා දුන්නාය.
ග්ලාස්ගෝව් කෙල්වින්ග්‍රෝව් සම්මන්ත්‍රණ ශාලාවේ සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණු අතර, මහ රැජින පිරිස අමතමින් කතා කළේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.
රැජින සමුළුවට සහභාගී වීමට නියමිතව සිටිය ද අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එය කළ නොහැකි විය.
රජ පවුල නියෝජනය කරමින් විලියම් කුමරු සහ කේට් ම්ඩිල්ඩන් මෙන්ම චාල්ස් කුමරු සහ කැමිලා පාකර් ආර්යාව කෙල්වින්ග්‍රෝව් සම්මන්ත්‍රණ ශාලාවට පැමිණ සිටියහ.
මානව ක්‍රියාකාරකම් හේතුවෙන්, පොසිල ඉන්ධන දහනය ඉහළ යෑම, කාබන්ඩයොක්සයිඩ් වැනි ඇතුළු විෂ වායු වායුගෝලයට වැඩි වැඩියෙන් එකතු වී මිහිකත උණුසුම්වීම වළක්වා ගැනීමට තීන්දු තීරණ ගැනීම 'කොප් 26' සමුළුවට රැස්වන රාජ්‍ය නායකයන්ගේ අරමුණ වී තිබේ. මෙම 'කොප් 26' සමුළුවේදී එසේ තීන්දු තීරණ ගැනීමට නොහැකි වුවහොත් එය මානව වර්ගයාගේ අවසානය වනු ඇති බව පරිසරවේදීන් පෙන්වා දී තිබේ.
කෙසේ නමුත් ඇමෙරිකාව, ඉන්දියාව, චීනය, යුරෝපා රටවල් ආදිය සමුළුවේදී ප්‍රතිඥා දී ඇත්තේ කාබන් විමෝචනය අවම කර ගැනීමටත්, පොසිල ඉන්ධන දහනය කප්පාදු කිරීමටත්, ගෝලිය උණුසුම ඉහළයෑම අඩු කර ගැනීමටත් ක්‍රියා කරන බවය.
වසර 2070 වනවිට කාබන් විමෝචනය අවම කරමින් ඊට ගැලපෙන ආකාරයට රටේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නවා යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 'කොප්26' සමුළුව අමතමින් ප්‍රතිඥා දුන්නේය. 2070 වසරේ එම ඉලක්කය කරා යෑමේදී ඉන්දියාව 2030 වසරේදී පොසිල ඉන්ධන භාවිතය හැකිතාක් අඩු කරන බවත් සූර්ය බලශක්තිය පමණක් භාවිතයට ගනිමින් මෙගාවොට් 450 ත් 500 ක් අතර විදුලි බලය නිපදවීමට කටයුතු කරනු ඇති බවත් අග්‍රාමාත්‍ය මෝදි වැඩි දුරටත් පැහැදිලි කළේය.
කාබල් විමෝචනය 'ශුන්‍ය' කිරීමේ අරමුණින් ඉන්දියාව පමණක් නොව, ලොව බලවත් මෙන්ම ධනවත් රටවල් රැසක් ද ඔවුන්ගේ ඉලක්ක සමුළුවට ඉදිරිපත් කළේය. චීන ජනාධිපති ෂී ජින්පින් හෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ ග්ලාස්ගෝව් බලා පැමිණ සිටියේ නැත.
එසේ වුවත් චීනය 'කොප්26' සමුළුවට පෙන්වා දී ඇත්තේ වසර 2060 වෙද්දී කාබන් විමෝචනය අඩු කර ගැනීමට කටයුතු කරන බවය. ඇමෙරිකාව සහ යුරෝලා සංගමය සමුළුවට අවධාරණය කර ඇත්තේ 2050 වසර වෙද්දී ඔවුන් මෙම ඉලක්කය කරා ළඟා වනු ඇති බවය.
෴ උපුටා ගැනීම - Daily Mail