සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් බෞද්ධ සිද්ධස්ථාන අතර ඓතිහාසික සේරුවාවිල මංගල රජ මහා විහාරය සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි.
මහා සෑයේ සම්බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති බවත්, තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේස ධාතූන්ගෙන් කොටසක් තැන්පත් කර ඇති බවත් ධාතු වංසයේ සඳහන් වෙයි.
නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම ඵෙතිහාසික විහාරස්ථානය වන්දනාමාන කිරීම සඳහා මුහුද හරහා මෙන්ම ගොඩබිම මතින් ද ගමන් කළ හැකි මාර්ග දෙකකි.
බෞද්ධ වන්දනාකරුවෝ වැඩි ප්‍රමාණයක් යන කන්තලේ සිට වැටී ඇති මාර්ගයේ දී කි.මීටර් 90 ක පමණ දුරක් ගෙවා සේරුවාවිල පුද බිම වෙත පැමිණෙති.
ලංකාවේ පළාත් බෙදීම් අනුව, රුහුණු බෞද්ධ රාජ්‍යයේ කෙළවර පිහිටි මෙම පුදබිමෙහි පන්සියයක් මහරහතන් වහන්සේ වැඩ සිටි බව ලංකා බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.
සංඝාවාස, උපෝසථාගාර බෝධි ගෘහ, ප්‍රතිමා මාලකාදී සියලු විහාරාංගයන්ගෙන් සමන්විත ස්ථානයක් වශයෙන් පැවැති සේරුවාවිල රාජ මහා විහාරය කාවන්තිස්ස රජතුමා විසින් තුන් යොදුනක් මානයේ ගම් බිම් පුදා පුදබිමෙහි මතු දියුණුවට වැඩ සැලසූ බව වංශකතාවල දැක්වෙයි.
මෙම ඓතිහාසික මහා සෑ කරවන ලද්දේ කාවන්තිස්ස රාජ්‍ය සමයේ ය. (ක්‍රි.පූ. 205 – 61) අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් අටවන වසරේ ලංකාවට තෙවැනි වර වැඩම කළ අවස්ථාවේදී පන්සියයක් මහරහතන් වහන්සේ සමඟ නිරෝධ සමාපත්තියට සමවැදී සිටි බවත් ධාතු වංශයේ සඳහන් වෙයි.
මාගම රාජ පරපුර ආරක්‍ෂා කරගෙන සිටි බව කියන සර්වඥයන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සෑදූ මෙම මහා සෑය මංගල මහා සෑය වශයෙන් වහරණු ලබන අතර මීට වසර දෙදහස් දෙසීය ගණනකට පෙර මෙම ස්තූපය සඟසතු කර පූජා කර ඇත්තේ චුල්ල පිණ්ඩපාතික හා තිස්ස විහාරයේ සාගල නම් භික්‍ෂූන් වහන්සේගේ උපදෙස් පරිදි බව ද ධාතුවංශයේ සඳහන් වෙයි.
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සේරුවිල සමීපයේ දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇත. මෑත කාලයේ දී පුරා විද්‍යා සොයා ගැනීම් අනුව එය රෝපණය කර ඇත්තේ කිලිවෙඩ්ඩි නම් වූ ග්‍රාමයේ ය.
මෙම ඓතිහාසික බෝධීන් වහන්සේ ත්‍රස්ත්‍රවාදීන් විසින් විනාශ කර ඇති අතර දෙතිස්ඵල බෝධීන් වහන්සේ ශ්‍රී වර්ධන බෝධීන් වහන්සේ නමින් සඳහන් වූ සේරුවාවිල පුදබිමටම සම්බන්ධ බව පුරා විද්‍යාඥයින්ගේ මතයයි.
අතීතයේ නාග ගෝත්‍රිකයන්ගේ පුණ්‍ය භූමියක් බව සිතිය හැකි සාක්‍ෂි මෙහි පුරාවිද්‍යාත්මක කැණීම්වලදී සොයා ගෙන තිබේ.
නයි පෙන නවයකින් සහ හතකින් ආවරණය ලත් බුදු පිළිම ඒ අතර දකින්න ලැබේ. පුරා විද්‍යා කැණීම්වලින්, වනාන්තරය දෙසට සිය ගණන් ගල් ගෙවල් මෙන්ම ගල් පොකුණු වරහ සොණ්ඩනම් දැකුම්කළු ගල් කෙම, ආරාමික නටබුන්, කළු ගලින් කළ විශාල මල් ආසන ද සොයා ගැනීමට හැකි වී ඇත.
෴ ලුසිත ජයමාන්න
ස්තුතිය - ඩයනා උදයංගනී, මීගොඩ ඔසඳ