සිනමා නිර්මාණවලට වඩා කැමැති සසින්දි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Dec 2, 2021

සිනමා නිර්මාණවලට වඩා කැමැති සසින්දි

සසින්දි නිම්හාරා සෙනවිරත්න මව සහ පියාගේ ආභාෂයෙන් නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ නිරූපණ ශිල්පිනියක ලෙසත් පසුව සහ රංගන ශිල්පිනියක ලෙසින් ආකර්ෂණය දිනූ සුරූපිනියකි. නිම්හාරා චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරන ‘සඳ දිය සළු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයද නිරූපණය කරයි.

නිම්හාරා රඟපාන්න එන්නෙ පොඩි කාලේදි නේද? 
මම මුලින්ම රඟපාන්න එද්දී වයස අවුරුදු හතර හමාරක් විතර ඇති. ඒ කාලේ ගොඩක් ජනප්‍රිය වුණ ‘කාව්‍යා’ නාට්‍යයේ කාව්‍යාගේ පොඩි කාලෙට රඟපෑවේ මම. ඊට පස්සේ ‘නිසලගිර’ චිත්‍රපටයේ රඟපෑවා. ඒ නීටා ප්‍රනාන්දු මහත්මියගේ දුව හැටියට. කාව්‍යා නාට්‍ය විකාශය වෙන කාලේ මාව මිනිස්සු ටිකක් හඳුනනවා. ඊට පස්සේ මම කාලයක් රංගනයෙන් ඈත් වෙලා අධ්‍යාපනයට මුල්තැන දීලා කටයුතු කළා. ආයෙම පාසල් කාලයෙන් පස්සේ තමා මම රංගනයට එන්නේ හිරු නාළිකාවේ විකාශය වූ ‘හුස්මක් තරමට’ ටෙලි සිතුවමේ සියුමානිගේ චරිතයෙන්.

නැවත ඔබ සිනමාවට එන්නේ?
මට අවස්ථාව ලැබුණා චන්න පෙරේරා අයියා අධ්‍යක්ෂණය කරනු ලබන ‘සඳ දිය සළු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්න. 
කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?
යශෝධා විමලධර්ම අක්කා තමා අම්මට කියලා තිබුණේ චන්න අයියා එයාගේ අලුත් නිර්මාණයට කෙනෙක් හොයනවා කියලා. ඊට පස්සේ අපි ගිහින් චන්න අයියව හම්බෙලා කතා කළාට පස්සේ තමා මාව තෝරා ගත්තේ. 

අමතක නොවන අත්දැකීම් තියෙනවාද?
මුළු චිත්‍රපටයම අමතක නොවන අත්දැකීමක් තමයි. අපි රූගත කරන්නේ රිවස්ටන් ප්‍රදේශයේ. මාසයක් විතර අපි එක දිගටම රූ ගත කිරීම් කළා. එක දවසක අපිට තිබ්බා වැස්සේ ෂූට් එකක් කරන්න. කොහොමත් රිවස්ටන් කියන්නේ සීතල පැත්තක් නිසා වැස්සේ රූගත කරන එක ගොඩක් අමාරුයි. නමුත් අපි රෑ පටන් ගත්ත ෂූට් එක ඉවර වුණේ පහුවදා පාන්දර 6ට. මම බයේ හිටියෙත් අසනීප වෙයි කියලා එක දිගටම සීතලේ හිටිය නිසා. ඒත් එහෙම කිසි දෙයක් වුණේ නැහැ.

වැඩියෙන්ම කැමති සිනමා නිර්මාණ කරන්නද පුංචි තිරයටද? 
සිනමාවට සම්බන්ධ නිර්මාණ කරන්න තමා වැඩි කැමැත්ත. 

චරිත තෝරා ගන්නේ කොහොමද?
මට සාධාරණයක් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇතිවෙන මට ගැළපෙන චරිතයක් නම් මම භාර ගන්නවා. 

නිම්හාරා අධ්‍යාපනය ලැබුවේ?‍
කොළඹ ලයිසියම් විදුහල. 

දැන් අධ්‍යාපන කටයුතු කොහොමද?
ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය කරනවා. වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ අධ්‍යාපන කටයුතු කරන ගමන් තමා නිර්මාණවලට දායක වෙන්නේ.

පූර්ණකාලීනව කලාවට යොමුවෙන්න අදහසක් නැද්ද?
ඉස්සර නම් තිබුණේ නැහැ. නමුත් දැන් චිත්‍රපටයේ වැඩ කටයුතුත් එක්ක එහෙම අදහසක් තියෙනවා. බලමු ඉස්සරහට ලැබෙන ආරාධනා එක්ක. 
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මා, තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද ඒ අයත් නිරූපණ ක්ෂේත්‍රය එක්ක අවුරුදු 20ක් විතර වැඩ කටයුතු කළ අය. ඒ නිසා ඒ අත්දැකීම් එක්ක මට මගේ ගමන යන්න ලොකු අත්වැලක් වෙලා ඉන්නවා. 

අම්මා, තාත්තා ගැනත් අපි විස්තර කියමු නේද? 
මගේ අම්මා නිලූ සේනානායක. තාත්තා අර්ජුන සේනානායක. 2002 දී බෙස්ට් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් සහ 2013 වර්ෂයේ මිසිස් ඒෂියා කිරුළ දිනාගත්තේ අම්මා. 2002 මිස්ටර් ශ්‍රී ලංකා මගේ තාත්තා. 

නිරූපණ තරගවලට යන්න අදහසක් නැද්ද?
නැත්තේ නැහැ. නමුත් දැන්ම නෙවෙයි. අවුරුදු 23න් පස්සේ වගේ ඒ ගැන හිතලා බලන්න ඉන්නේ. 

ජනප්‍රිය වෙද්දී කටකතා හැදෙනවට බයක් නැද්ද? 
බයක් නැහැ කියන්නේ, මගේ අම්මා තාත්තගේ සහයෝගය එක්ක මම හරි මාර්ගයේ යනවා කියලා මම දන්නවා. ඒ හින්දා අනෙක් අය කියන කතා ඕනෑවට වඩා භාර ගන්නේ නැහැ. හැබැයි මගේ හදාගන්න ඕනේ අඩුපාඩුවක් මට පෙන්වලා දුන්නොත් මම ඒක පිළිගන්න දෙපාරක් හිතන්නේ නැහැ. 

අනාගත බලාපොරොත්තු මොනවද?
මගේ අධ්‍යපන කටයුතු කරලා උපාධිය සම්පූර්ණ කරන එක සහ ඒ අතරතුර ලැබෙන හොඳ සිනමා නිර්මාණවලට දායක වෙන එක තමා එකම බලාපොරොත්තුව.

෴ අනුෂා රණසිංහ
උපුටා ගැනීම - අරුණ 

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad