74 වැනි නිදහස් දිනය අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 4, 2022

74 වැනි නිදහස් දිනය අද

ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අද (4)ට යෙදී ඇත. මෙවර නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත් ලෙස කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී අද (4) පෙරවරු 7.30 සිට පැවැත්වේ.

‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව් බිමක් යන්න’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි. මෙවරත් ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ වන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය දිවංගත ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවය. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිදහස් දින සැමරුම් උත්සව භූමියට සම්ප්‍රාප්තවීමට නියමිතව ඇත්තේ පෙරවරු 8.11ට වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරවරු 8.13ට උත්සව භූමියට සම්ප්‍රාප්තවීමට නියමිතය. ඉන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

මේ අතර, 74 වැනි නිදහස් සැමරුම් උළෙලට සමගාමීව දිවයින පුරා පැළ දස ලක්ෂයක් සිටුවීමේ මූලික අදියර පසුගිය දෙවැනිදා පෙරවරු 8.30 ට කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොම්පඤ්ඥවීදීය පොලිස් ස්ථානයේදී ආරම්භ විය.
>
කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ අදහසකට අනුව ප්‍රථම අදියරේ පලතුරු පැළ 1000 ක් කොළඹ මධ්‍යම කොට්ටාසය තුළ පෝච්චිවල සිටුවීම ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව බද්ධ කළ පලතුරු පැළවලට ප්‍රමුඛතාව හිමි වේ.

කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පොලිස් ඒකක විසින් පිහිටුවා ඇති සිවිල් ආරක්ෂක කමිටු මගින් නඩත්තු කටයුතු සිදුකරන බවත් කොළඹ මල්වත්ත පාර මහජන බැංකුව සහ දිස්ත්‍රික් 306/2 බී සිංහ සමාජය සහයෝගය ලබාදී ඇත. කොම්පඤ්ඤවීදිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉදුනිල් රාජපක්ෂ මහතා ප්‍රථම අදියර වැඩසටහන සංවිධානය කළේය.

෴ උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom