74 වැනි නිදහස සැමරේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 4, 2022

74 වැනි නිදහස සැමරේ

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයෙන් මිදී උත්තරීතර නිදහස ලැබ වසර 74 ක් සපිරීමේ අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන්, කොළඹ, නිදහස් චතුරස්‍රයේ පිහිටි ‘ජාතියේ පියා’ යන විරුදාවලිය ලද ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව අභියස දී ඉතා අභිමානවත් හා චාම් අයුරින් අද (4) පෙරවරුවේ පැවැත්විණි.

“අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යමත් මව්බිමක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාව විය. උත්සවය සඳහා ආරාධිත අමුත්තන් පැමිණීම පෙරවරු 7.30ට ආරම්භ වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය උත්සව භූමියට පැමිණියේ පෙරවරු 8.11 ට පමණය. අනතුරුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අයෝමා රාජපක්‍ෂ මහත්මිය පෙරවරු 8.13ට පමණ උත්සව භූමියට සපැමිණි අතර ඉන් අනතුරුව නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු ආරම්භ විය. 

ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්ත වූයේ පෙරගමන් රථ, පෙරගමන් යතුරුපැදි හා අශ්වාරෝහකයින් සහිත රිය පෙරහරකිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන් යුද හමුදා සේවයේදී ක්‍රියාන්විත රාජකාරීවල යෙදෙමින් ලබාගත් වීර පදක්කම් ද සිය කමිසයේ පැළඳ සිටියේය. 

ජනාධිපතිවරයා උත්සව භූමියට පැමිණි බව සැලකරමින් හොරණෑ වාදනය කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන් විසින් එතුමන් ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන යනු ලැබිණි. 

ඉන්පසු මඟුල් බෙර වාදන මධ්‍යයේ ජනාධිපතිවරයා ජාතික ධජය නැංවූ අතර අනතුරුව පාසල් සිසු සිසුවියන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජාතික ගීය ගායනා කළේ නිදහස් දින අභිමානය තව තවත් ඔප්නංවමිනි.

ඉන්පසු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර එම පීඨිකාව ද ඉතා අලංකාරවත්ව ඉදිකර තිබිණි. ඉන්පසු පාසල් ශිෂ්‍යාවන් 15 දෙනෙක් එක්ව ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාත් ගායනා කළහ. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ විරුවන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම අනතුරුව සිදුකෙරිණි. 

ත්‍රිවිධ හමුදාව විසින් ජනාධිපති උත්තමාචාර පවත්වා ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදුවූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය අමතා අදහස් දැක්වූයේ එම ආචාර වෙඩිමුරවලින් අනතුරුවය. ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය එක්ව ජාතියේ අභිමානය විදහා දැක්වෙන අයුරින් පවත්වන නිදහස් දින ආචාර පෙළපාලිය හා ඊට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය ආරම්භ විය. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් 3377 ක්, නාවික හමුදා නිලධාරීන් හා සෙබළුන් 919 ක්, ගුවන් හමුදාව නියෝජනය කරන 804 ක්, ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන 336ක්, විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් 220 ක්, සිවිල් ආරක්‍ෂක බලකාය නියෝජනය කරමින් 437ක් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ 259ක් ඇතුළුව 6500ක පිරිසක් මෙවර ආචාර පෙලපාලියට එක්ව සිටියහ. 

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සුජීව සෙනරත් යාපා මහතා පෙළපාලියේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. මෙම ආචාර පෙළපාලිය නිදහස් චතුරස්‍රය ඉදිරිපිටින් ගමන් ගත්තේ ශ්‍රී ලංකා මාතෘභූමියේ මුරදේවතාවුන්ගේ අභිමානය හා ශක්තිය මැනවින් ලොවට විදහා පාමිනි. ජාතික හා හමුදා ධජවලින්, ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම්වලින්, මෙන්ම අශ්වාරෝහක කණ්ඩායම්වලින් විචිත්‍රවත් වූ පෙළපාලියට සන්නාහ සන්නද්ධ රථ, නාවික යාත්‍රා, ගුවන් හමුදා ප්‍රහාරක යානා, ආරක්‍ෂක උපකරණ ආදියෙන් මහත් අභිමානයක් ලැබිණි. 

මෙවර පෙළපාලියට දේශීයව නිෂ්පාදනය කෙරුණු යුද හමුදා සන්නද්ධ රථද ඇතුළුව සන්නද්ධ රථ 111ක් ද ඇතුළත් විය. ගුවන් හමුදා කණ්ඩායම් ආචාර පෙලපාලියේ ගමන් කරද්දී නිදහස් චතුරස්‍රයට ඉහළ අහසේ ගුවන් හමුදා ප්‍රහාරක යානා ද ගමන් කළ අතර ගුවන් හමුදා ප්‍රහාරක යානා 26ක් හා නියමුවන් 50ක් ඊට එක්විය. තම ජීවිතයේ වැඩි කාලයක් රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කැප කළ සේවා මුක්ත භටයින් හා යුද්ධයේදී විවිධ ආබාධයන්ට ලක්වූ රණවිරුවන් රැගත් රථ තුනක් ද මෙවර ආචාර පෙළපාලියට එක්කර තිබිණි. 

ආචාර පෙලපාලිය අවසානයේ පැවති සංස්කෘතික සංදර්ශනය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය නර්තන කණ්ඩායම, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානය, මන්මුනේ උතුර, අක්කරෙයිපත්තු, සංස්කෘතික මධ්‍යස්ථානයන් මෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත් සභා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ නියෝජනය කරමින් නර්තන හා වාදන ශිල්පීන් 431 දෙනෙක් සහභාගී වී සිටියහ. 

දේශීය සංස්කෘතික උරුමය විදහා දැක්වෙන් අයුරින් ඉදිරිපත් කෙරුණු මෙම සංස්කෘතික සංදර්ශනයේ නර්තන නිර්මාණය කර තිබුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතා විසිනි. 

එම සංස්කෘතික සංදර්ශනයෙන් අනතුරුව උත්සවයේ කටයුතු නිමාවට පත්විය. මෙවර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නිදහස් දින සැමරුම සෞඛ්‍යාරක්‍ෂිත විධිවිධාන යටතේ සංවිධානය කර තිබිණි. 

උළෙලේ මඟුල් බෙර වාදනය හා සක් පිඹීම සඳහා රාජ්‍ය නර්තන කණ්ඩායමේ ශිල්පීහු එක්ව සිටියහ. කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ 2, ආරක්‍ෂක සේවා විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය, කොළඹ 4, ලින්ඩ්සේ බාලිකා විද්‍යාලය, කොළඹ 7, රාජකීය විද්‍යාලය, කොළඹ 7, තර්ස්ටන් විද්‍යාලය, කොළඹ 10, සහිරා විදුහල, කොළඹ 4, හින්දු විදුහල, කොළඹ 4, රාමනාදන් හින්දු විදුහල සහ කොළඹ 4, මුස්ලිම් කාන්තා විදුහල යන විදුහල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 45 දෙනෙක් ජාතික ගීය ගායනා කිරීම සඳහාත්, කොළඹ දේවි බාලිකා විද්‍යාලය, විශාකා විද්‍යාලය සහ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය යන විදුහල්වල ශිෂ්‍යාවෝ ජයමංගල හා දේවෝ වස්සතු කාලේන ගාථා ගායනය සඳහාත් එක්වූහ. 

ජාතික ගීය ගායනා කිරීමේදී සහ ජයමංගල ගාථා ගායනා කිරීමේදී සංගීතය මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදා පෙරදිග වාදන වෘන්දය විසිනි. මෙම උත්සවය වෙනුවෙන් නිදහස් චතුරස්‍රය හා ඒ අවට මාර්ග වසා දමා තිබූ අතර විශේෂ ආරක්‍ෂක හා රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර තිබිණි. විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්‍ෂ මන්ත්‍රීන් කිසිවෙකුත් නිදහස් උළෙලට සහභාගී වී සිටියේ නැත. 

 මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරුන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, වාරිමාර්ග අමාත්‍ය, අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න බස්නාහිර පළාත් ආණ්ඩුකාර, මාෂල් ඔෆ් ශ්‍රී ලංකා එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆීල්ඩ් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්, මැති ඇමතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, විදෙස් තානාපතිවරු, හමුදා ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙවර ද කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මහජනතාවට නිදහස් උත්සවය නැරඹීමට ස්ථානයක් වෙන්කර නොතිබිණි.

෴ ඩයනා උදයංගනී 
උපුටා ගැනීම - ලංකාදීප

Classified_Ad

Classified_Ad_News_Bottom