ගිනි සිළුව දැල්වූ උයිගුර් මුස්ලිම් ක්‍රීඩිකාව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 8, 2022

ගිනි සිළුව දැල්වූ උයිගුර් මුස්ලිම් ක්‍රීඩිකාව

2022 ශීත ඔලිම්පික් උළෙල සමාරම්භක උත්සවය පසුගිය 4 වැනිදා අති උත්කර්ෂවන් අන්දමින් චීනයේ බෙයිජීං අගනුවර ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර, ක්‍රීඩාංගනයේ ගිනි සිළුව දැල්වීම සිදුවූයේ චීනය නියෝජනය කරන එරට උයිගුර් මුස්ලිම් ක්‍රීඩිකාවක වීම විශේෂත්වයකි. 

බෙයිජීං ඔලිම්පික් උළෙල ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් වර්ජනය කරනු ලැබ ඇත. ඒ, චීනය එරට සුළු ජාතීන් වන චීන උයිගුර් මුස්ලිම්වරුන්ට කෙණෙහිලිකම් කරමින් මානව හිමිකම් කඩන බවට චෝදනා නගමිනි. එම චෝදනා හේතුවෙන් ඇමෙරිකාව, කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් බෙයිජීං ඔලිම්පික් උළෙල වර්ජනය කර ඇත. 

ඒ අනුව, මෙම රටවල රාජ්‍ය නායකයන් හෝ රාජ්‍ය නියෝජිතයන් හෝ ඔලිම්පික් උළෙලට සහභාගී නොවන අතර සහභාගී වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් පමණි. ශීත ඔලිම්පික් උළෙලේ දී ප්‍රධාන ගිනි සිළුව දැල්වීමට 20 හැවිරිදි උයිගුර් ක්‍රීඩිකා ඩින්ජීර් ඉලලාමිජියැංට අවස්ථාවක් දීමට චීන රජය කටයුතු කිරීම සුවිශේෂී සිදුවීමක් බව ඔලිම්පික් කමිටුව මෙන්ම දේශපාලන විශ්ලේෂකයන් ද පෙන්වා දෙති. 
උයිගුර් වැසියන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කරනවා යැයි එල්ල වන සියලු චෝදනා චීන රජය ප්‍රතික්ෂේප කර තිබේ. උයිගුර් ක්‍රීඩිකා ඩින්ජීර් ඉලලාමිජියැං පසුගිය 4 වැනිදා රාත්‍රියේ බෙයිජීං ජාතික ක්‍රීඩාංගනයේ දී ඔලිම්පික් ප්‍රධාන ගිනි සිළුව දැල්වීම කළේ චීන ක්‍රීඩක 21 හැවිරිදි සාඕ ජියාවෙන් ද සමඟ එක් වෙමිනි. 

උයිගුර් මුස්ලිම් වැසියන් ජීවත් වන්නේ චීනයේ සිංජියැං පළාතේය. ශීත ඔලිම්පික් උළෙල වර්ජනය කරන්නැයි බටහිර රටවලට බලපෑම් කළේ චීනයෙන් පිටවී විදෙස්ගතව ජීවත්වන චීන උයිගුර් මුස්ලිම් වැසියන්ය. ක්‍රීඩිකා ඩින්ජීර් ඉලලාමිජියැං ඔලිම්පික් ගිනි සිළුව දැල්වීමට චීන රජය ඉඩ ලබා දීම ප්‍රසංශනීය යැයි ඔලිම්පික් කමිටුව මාධ්‍ය හමුවේ පසුව පවසා තිබුණි.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad

Classified_Ad_News_Bottom