රයන් බේරා ගන්න බැරිවුණා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 6, 2022

රයන් බේරා ගන්න බැරිවුණා

දින පහක් තිස්සේ, අඩි 100 ක් ගැඹුරු ළිං කුහරයක් තුළ සිරවී සිටි පස් හැවිරිදි රයන් අවුරාම් මුදා ගැනීමේ මෙහෙයුම් කඳුළින් අවසන් විය. ඒ, දිවා රෑ නොබලා කාලය සමඟ සටන් කළ දිවි ගලවා ගැනීමේ කණ්ඩායම, කැණීම් කරමින් රයන් වෙත ළඟා වනවිටත් ඔහු මියගොස් සිටි බැවිනි. 

ගලවා ගැනීමේ කණ්ඩායම, වෙහෙස නොබලා, පසුගිය දින කිහිපය පුරා පැය 24 තිස්සේ, රයන් සිරවී සිටි ස්ථානයට ළඟා වීමට සිරස්ව මෙන්ම තිරස්ව ද කැණීම් කළේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමිනි. කැණීම් කටයුතු සෙමින් මෙන්ම ඉතා පරිස්සමෙන් ද කළ යුතු විය. ඒ, ළිං කුහරය පස්වලින් වැසී යෑමේ අවදානමක් පැවැති බැවිනි. දිවි ගලවා ගැනීමේ නිලධාරීන්, රයන් සිටි තැනට ළඟා වී, රයන් ඔසවා පිටතට ගත්තේ ඊයේ (5) පස්වරුවේය. 

රයන් මුදා ගනිද්දී වෛද්‍ය කණ්ඩායමක් පමණක් නොව ගිලන් රථයක් සහ හෙලිකොප්ටර් යානයක් ද සූදානමින් තැබුණි. රයන් පිටතට ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ අවස්ථාවේදී, රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා නගන්න විය. දෙස් විදෙස් මාධ්‍යවේදීහු ද දිවා රෑ නොබලා රයන් බේරා ගැනීමේ මෙහෙයුම් සජීවීව වාර්තා කරමින් සිටියහ. 

වෛද්‍යවරුන් වෙත යොමු කළ විට ඔවුන් පැවැසුවේ ඒ වනවිටත් රයන් මියගොස් සිටි බවය. එය දිවි ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමින් එම ස්ථානයේ රැඳී සිටි පිරිසගේත්, විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් රයන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කළ සියලු දෙනාගේත් දෑස් කඳුළින් තෙත් කිරීමට හේතුවක් විය. 

රයන් අවුරාම් අඩි 105 ක් ගැඹුරු ළිං කුහරයට වැටුණේ පසුගිය පළමු වැනිදාය. ළිං කුහරය ඇත්තේ, උතුරුදිග මොරොක්කෝවේ, ෂෙෆ්ෂැවුවින් පළාතේ, ටමෝරොට් නමැති කුඩා නගරය ආසන්නයේය. රයන්, සිය මව සහ පියා මෙම ටමෝරොට් නගරයේ පදිංචිකරුවන්ය. රයන්ගේ පියා ළිඳ පිළිසකර කිරීමට ගොස් ඇත්තේ රයන් ද කැටුවය. රයන්ගේ මව වසීමා කාර්ච්චි ද එම ගමනට එක් වූවාය. 
සෙල්ලම් කරමින් විනෝදයෙන් සිටි රයන් හිටිහැටියේ ළිං කුහරයට වැටුණේ එක් මොහොතක තම අවධානය පුතුගෙන් ගිලිහුණු නිසා යැයි පියා හඩමින් පවසා තිබේ. අගල් 9.8 ක (සෙන්ටි මීටර් 25) විශ්කම්භයකින් යුත් ගැඹුරු ළිං කුහරයට වැටුණු රයන් එහි මීටර් 35 ක් (අඩි 105) පහළින් සිරවිය. ඒ, ළිං කුහරය පහළට යද්දී තව තවත් එය පටු වූ බැවිනි. ළිං කුහරයට රිංගා රයන් බේරා ගැනීම ද කළ නොහැකි විය. 

රයන්ගේ පියා සහ මව පමණක් නොව, ඔවුන්ට සහාය දක්වමින් ටමෝරොට් නගර වැසියෝ ද රයන් මුදා ගැනීමට උත්සහ දරන්න වූහ. සිද්ධිය සැලවුණු සැණින්, පළාත් බලධාරීන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එහි පැමිණි අතර කැමරාවක් ළිං පතුළට යවා රයන් යහතින් සිටිනවාදැයි විමසා බැලුවේය. 

ඒ අනුව, රයන් හුස්ම ගන්නා බව වීඩියෝ දසුන්වලින් අනාවරණය විය. බටවල ආධාරයෙන් රයන්ට දියරමය ආහාර, ජලය පමණක් නොව ඔක්සිජන් ද යැවුණි. සමාජ මාධ්‍ය ඔස්සේ රයන්ට සිදුවුණු අකරතැබ්බ ප්‍රසිද්ධියට පත් වෙද්දී, මොරොක්කෝ රජුගේත් රජයේත් අවධානය ඊට යොමු විය. දරුවා බේරා ගැනීමට උනන්දු වන්නැයි මොරොක්කෝ බලධාරීන්ට ජනතාවගෙන් විශාල පීඩනයක් ද එල්ල විය. 

'මොරොක්කෝ සිවිල් ආරක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය' රයන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා එක් වූ අතර, බැකෝ යන්ත්‍ර සහ අවශ්‍ය සියලු කැණීම් උපාංග ලබා දීම සිදුවිය. මොරොක්කෝ පොලිස් බළඇණියක් ද ළිං කුහරය පිහිටි ස්ථානයට යැවුණි. රයන් ට සිදුවුණු අකරතැබ්බ ආරංචි වීමෙන් පසු දිවි ගලවා ගැනීමේ කටයුතු සිදුවන ආකාරය දැක ගැනීමට මොරොක්කෝවේ නන්දෙසින් ජනතාව ද එහි රැස් වූහ. ඒ, රයන් යහතින් බේරා ගැනීමට හැකිවේවා යැයි දෙවියන්ට කන්නලව් කරමිනි.

෴ උපුටා ගැනීම - Al Jazeera

Classified_Ad

Classified_Ad_News_Bottom