හමුදාවේ 75 ක් ලෙබනනයට​ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 8, 2022

හමුදාවේ 75 ක් ලෙබනනයට​

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකායේ 13 වන කණ්ඩායමට අයත් 75 දෙනකුගෙන් සමන්විත හමුදා භට පිරිසක් පසුගිය දා දිවයිනෙන් පිටත් වූහ. 

මේ කණ්ඩායමට නිලධාරීන් 8 දෙනකු, සෙසු නිලයන් 67 දෙනකු ඇතුළත් බව යුද හමුදව කියයි. ලෙබනනයට යැවෙන මුළු හමුදා කණ්ඩායමට නිලධාරීන් 10 දෙනකු හා සෙසු නිලයින් 115 දෙනකු අයත් අතර ඉන් පළමු අදියර වශයෙන් මෙම කණ්ඩායම පිටත්ව යන බව ද හමුදාව සඳහන් කරයි. 

ප්‍රථම වරට මෙවර කණ්ඩායමට ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බළකාය නියෝජනය කරමින් එක් නිලධාරීනියක් සමග සෙබළියන් 07 දෙනෙකු ද සහභාගිවීම විශේෂත්වයකි. ලෙබනනය බලා පිටත්ව ගිය මෙම පිරිසට සුබ පැතිම සදහා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතා ද කටුනායක ගුවන් තොටුපළ ගුවන් යානා අංගනය වෙත පැමිණ සිටියේය. 

 මෙම කණ්ඩායමේ අණදෙන නිලධාරී ලෙස පාබල හමුදාවේ ලුතිනන් කර්නල් එම්.එස්.ඩී.එන්. සමරකෝන් මහතා කටයුතු කරන අතර, සෙබළියන්ගේ කණ්ඩායමේ අණදෙන නිලධාරිනිය වශයෙන් මේජර් අශා දිල්රුක්ෂි මහත්මිය කටයුතු කරයි.
පිටත්ව යන පිරිස ඉංජිනේරු බළකාය, සංඥා බළකාය, විශේෂ බළකාය, පාබළ රෙජිමේන්තුව, යාන්ත්‍රික රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, සේවා බළකාය, වෛද්‍ය බළකාය, යුද්ධෝපකරණ බළකාය, විදුලි හා යාන්ත්‍රික බළකාය, පොලිස් සේවා බළකාය සහ පොදු සේවා බළකාය නියෝජනය කරන බව ද හමුදාව පවසා තිබේ. 

භට පිරිස වසරක කාලයක් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා වලට අනුබද්ධිතව රාජකාරී වල නියැලීමට නියමිතය. භට පිරිස සමග පුපුරන ද්‍රව්‍ය නිරීක්ෂණයට සහාය වන නිල සුනඛයන් කණ්ඩායමක් ද ලෙබනනය බලා ගියහ.

෴ ඉන්දිකා රාමනායක
උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත

Classified_Ad

Classified_Ad_News_Bottom