‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට ලබා දෙන ‘බූස්ටර්’ එන්නතේ බලය පවතින්නේ මාස 4 ක් සඳහා පමණක් යැයි ඇමෙරිකාවේ ‘වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය’ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකාවේ ‘වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය’ මේ බව නිවේදනය කර ඇත්තේ, ඇමෙරිකන් වයිරස විශේෂඥයන් ලබා දුන් අධ්‍යයන වාර්තා පාදක කර ගනිමිනි.
ඇමෙරිකානුවන්ට බූස්ටර් එන්නත් ලබා දීම දිගටම සිදුවෙයි. ඒ, එරට ඉතා වේගයෙන් ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තිය පාලනය කිරීමට ‘බූස්ටර්’ එන්නත උපකාරී වන බැවිනි.
ඇමෙරිකානුවන්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබා දෙන්නේ mRNA එන්නත් වන ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ ය. ‘ඔමික්‍රෝන්’ බිහිසුණු නොවුණත් එය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වෙයි. බූස්ටර් එන්නත ලබා ගැනීම ඉතා වැදගත් වන්නේ ‘ඔමික්‍රෝන්’ නිසා දැඩි ලෙස ගිලන්වී රෝහල්ගතවීම අවම කිරීමටය. බූස්ටර් එන්නත ලබා ගෙන දින කීපයක් යද්දී, වයිරසයට එරෙහි ප්‍රතිදේහ සිරුරේ නිපදවීම සිදුවෙයි. බූස්ටරය ලබා ගෙන මාස දෙකක් ගතවෙද්දී ‘කොවිඩ් 19’ ආසාදනය වුවහොත්, රෝහල්ගත නොවී ඉක්මණින් සුවය ලැබේ.
එසේ වුවත් බූස්ටර් එන්නතේ බලය ඇත්තේ මාස 4 ක් සඳහා පමණක් බවත්, ‘ඔමික්‍රෝන්‘ වසංගතයේ අඩුවක් දක්නට නොලැබුණහොත්, ඇමෙරිකානුවන්ට සිවුවැනි මාත්‍රාවක් ලබා දීමට සිදුවනු ඇති බවත් ධවල මන්දිර ප්‍රධාන සෞඛ්‍ය උපදේශකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ඇන්තනි ෆවුචි පෙන්වා දෙයි. ඇමෙරිකාවේ ප්‍රධානතම වසංගත රෝග විශේෂඥයා වන්නේ ද ෆවුචිය.
“ඇමෙරිකාවේ කොවිඩ් 19 ආසාදිතයන් සහ මරණ වාර්තා වුවත්, බූස්ටර් එන්නත් මාත්‍රාවෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්ත වීම යම්තාක් දුරකට පාලනය වන බවත් පෙන්නුම් කරනවා. එසේ වුවත්, බූස්රටයේ බලපෑම පවතින්නේ මාස 4 කට පමණක් නම්, ඇමෙරිකානුවන්ට සිවුවැනි එන්නතක් ලබා දීමට අවශ්‍ය වේවි යැයි මා විශ්වාස කරනවා. මේ වනවිටත් මේ ගැන වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඔවුන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගනීවි.” ඇන්තනි ෆවුචි මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
‘කොවිඩ් 19’ වසංගතය සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට උපදෙස් ලබා දෙන්නේ ද ෆවුචිය.
ප්‍රබලත්වය අඩු, සංකූලතා අවම ‘කොවිඩ් 19’ වයිරස විකෘතියක් ලෙස ‘ඔමික්‍රෝන්’ සැලකෙයි. එසේ වුවත් එය මේවනවිට, ‘ඇල්ෆා’, ‘බේටා’, ‘ඩෙල්ටා’ යන බිහිසුණු ‘කොවිඩ් 19’ ප්‍රභේද සියල්ල අභිබවා ගොස් ලොව ප්‍රධානතම ‘කොවිඩ් 19’ විකෘතිය බවට පත් වී අවසන්ය.
‘ඔමික්‍රෝන්’ විකෘතිය පළමු වරට සොයා ගැනීම සිදුවූයේ පසුගිය 2021 වසරේ නොවැම්බරයේය. එදා සිට මේ දක්වා කාලයේ ‘කොවිඩ් 19’ හේතුවෙන් ලොව පුරා මරණ 1,00,000 ක් සිදුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ වනවිට ඇමෙරිකාවේ යළි ආසාදිතයන් ඉහළ යෑමට පටන්ගෙන ඇත්තේ ද ‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතියෙන් එල්ල වන බලපෑම නිසා යැයි ඇමෙරිකන් වසංගත රෝග පිළිබඳ විශේෂඥයෝ බිය පළ කරති.
මේ වනවිටත් ලෝකයේ රටවල් කීපයක්, පළමු දෙවැනි සහ තෙවැනි බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමෙන් පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම සිදු කරයි.
සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම පළමුවෙන් ආරම්භ වූයේ ඊශ්‍රායලයෙනි.
සිවුවැනි මාත්‍රාවක් ලෙස mRNA වර්ගයේ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතක් යෝග්‍ය බවත්, mRNA එන්නතක් වන ඇමෙරිකාවේ ‘ෆයිසර්’ එන්නත ඒ සඳහා වඩාත් සුදුසු බවත් පළමුවෙන් ලොවට පැවැසුවේ ද ඊශ්‍රායලයයි.
අද වනවිට ඩෙන්මාර්කය, චිලී රාජ්‍යය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය එරට වැසියන් සඳහා සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. යුරෝපාකරයේ පළමුවෙන් සිවුවැනි මාත්‍රාව ලබා දීම ආරම්භ කළ රට වන්නේ ඩෙන්මාර්කයයි.
෴ උපුටා ගැනීම - NDTV