මාස 14 ක් තිස්සේ පොසිටිව් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 15, 2022

මාස 14 ක් තිස්සේ පොසිටිව්

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පදිංචි මුසාෆර් කයාසන්ට ‘කොවිඩ් 19’ ආසාදනය වෙද්දී, ඔහු සිතුවේ මරණය නිසැකයි කියාය. ඊට හේතුව ඒ වනවිටත් ඔහු ලියුකේමියා (ලේ පිළිකාවකින්) රෝගියකු වූ බැවිනි. 

ඒත් ‘කොවිඩ් 19’ ආසාදනය වී මාස 14 ක් ගත වුවත්, මුසාෆර් තවමත් ජීවතුන් අතරය. ඒත් ඔහු ලොව වෙන කිසිවකු මුහුණ නොදුන් ආකාරයේ අකරතැබ්බකට මුහුණ පා සිටී. ‘කොවිඩ් 19’ ආසාදනය වී මාස 14 ක් ගත වුවත්, 78 වරක් ‘කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා යොමු වුණත්, මුසාෆර් කයාසන් තවමත් ‘කොවිඩඩ් 19’ පොසිටිව් පුද්ගලයෙකි. 

මුසාෆර් තවමත් ‘පොසිටිව්’ තැනැතකු ලෙස හඳුනා ගැනෙන්නේ ඔහුගේ සිරුරේ ‘කොවිඩ් 19’ විෂබීජ ඇති බැවිනි. එහෙයින්, මාස ගණනක් තිස්සේ 56 හැවිරිදි මුසාෆර් සිටින්නේ හුදෙකලාවය. ලොව වැඩිම කාලයක් ‘කොවිඩ් 19‘ විෂබීජය මනුෂ්‍ය සිරුරක පවතින්නේ නම්, ඒ මුසාෆර්ගේ සිරුරේ යැයි වෛද්‍යවරු පෙන්වා දෙති. ඊට හේතුව, ලියුකේමියා රෝගී තත්ත්වය හේතුවෙන්, මුසාෆර්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතාමත් දුර්වල තත්ත්වයක ඇති නිසාය. 

මුසාෆර් පළමුවෙන් ‘කොවිඩ් 19’ ආසාදිතව, රෝහල්ගත කෙරුණේ 2020 නොවැම්බරයේය. ඉන්පසු ඔහුට වරින් වර රෝගල් ගත වීමට සිදුවිය. ඒ, සෑම අවස්ථාවකම ‘කොවිඩ් 19’ සඳහා ‘පොසිටිව්’ වීම සහ සංකූලතා උත්සන්න වූ බැවිනි.

‘මා හිතන්නේ මට ඇසාදනය වෙලා තිබෙන්නේ කොරෝනා වයිරසයේ ගැහැනු ප්‍රභේදයක්. ඒක වෙන්න ඇති එයා මාව දාලා නොයන්නේ’ යැයි මුසාෆර් පවසා ඇත්තේ විහිළුවක් කරමිනි. ‘කොවිඩ් 19’ වයිරසය සිරුරේ පැවැතියත්, එයින් මුසාෆර්ගෙ ජීවිතයට තර්ජනයක් නොමැති බව වෛද්‍යවරු පවසති. ඔවුන් මුසාෆර් ගැන විමසිල්ලෙන් සිටින බව ද පැවැසෙයි.

මාස නවයක් රෝහලේ සිටි මුසාෆර්, තවත් මාස 5 ක කාලයක් තිස්සේ පුංචි කුටියක් වැනි නවාතැනක හුදෙකලාව පසුවෙයි. මුසාෆර්, සීයා කෙනෙකි. ඔහුගේ පුතු සහ මිනිබිරිය අස්රා නිරන්තරයෙන් මුසාෆර් ගැන සොයා බැලීමට පැමිණෙති. වෛද්‍යවරුන්ට අනුව, ‘කොවිඩ් 19’ විෂබීජය සිරුරේ තිබුණත්, එය බෝවීමක් පෙන්නුම් නොකරයි. 

එසේ වුවත්, තමන් හුදෙකලා ජීවිතයකට යොමු වී, හුරු වී සිටින බව ද මුසාෆර් පවසයි. ඊට අමතරව, තමන්ට තවමත් ගද සුවඳ සහ රසය නොදැනෙන බව මුසාෆර් පැහැදිලි කර තිබේ. ලියුකේමියා රෝගී තත්ත්වය වෙනුවෙන් ද තමන් දිගටම අවශ්‍ය ඖෂධ ලබා ගන්නා බව ද මුසාෆර් වැඩි දුරටත් කියා සිටී. 

මුසාෆර්, ‘කොවිඩ් 19’ සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන නැත. ඔහු ආසාදිතයකු බවට පත් වූයේ එන්නත ලබා ගැනීමට පෙරය. එදා සිට දිගටම ‘පොසිටිව්’ තැනැත්තකු බැවින්, මුසාෆර් ට එන්නත ලබා ගැනීමට නොහැකි යැයි තුර්කි සෞඛ්‍ය අංශ පැහැදිලි කර දෙයි.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom