යුක්රේන දේශසීමාවේ රඳවා සිටි තම හමුදා සොල්දාදුවන්ගෙන් කොටසක් ඉවත් කර ගන්නා බව රුසියාව අද (15) නිවේදනය කළේය.
ඒ අනුව, යුක්රේනය මුල්කොට ගනිමින් රුසියාව, ඇමෙරිකාව සහ බටහිර රටවල් අතරේ පැවැති යුද බිය යම්තාක් දුරකට පහව ගියේය.
යුක්රේනය, රුසියාවේ අසල්වැසියකු වන අතර, රුසියන් හමුදා සොල්දාදුවෝ ලක්ෂයකට වැඩි පිරිසක් පසුගිය සති කිහිපය තිස්සේ යුක්රේන රුසියානු දේශසීමාවේ රැඳී සිටියහ. රුසියාව, යුක්රේනය තුන් පැත්තකින් වට කර තිබුණි.
ඇමෙරිකාව දිගින් දිගටම කියා සිටියේ රුසියාව කොයිමොහොතේ හෝ යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවය.
කෙසේ නමුත්, බටහිර රටවල් සහ රුසියාව අතර යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුණු අතර, යුදමය ක්‍රියාමාර්ගයකට නොගොස්, බටහිර රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර, අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කළේය.
රුසියාව, සිය හමුදා සෙබළුන්ගෙන් කොටසක් දේශසීමාවෙන් ඉවත් කර ආපසු රුසියාවේ හමුදා කඳවුරු වෙත යැවීමට කටයුතු කළේ ඉන් පසුවය.
අතීතයේ, සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේ දී යුක්රේනය සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් විය.
සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු යුක්රේනය යුරෝපා සහ බටහිර රටවලට සමීප වී කටයුතු කරයි.
ඊට අමතරව ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය සමඟ ද සබඳතා තරකරගෙන ඇත. ‘නේටෝ’ යනු බටහිර රටවල් එක් වී, රුසියාවේ තර්ජනවලට මුහුණ දීමට පිහිටුවා ගත් සන්ධානයයි.
‘නේටෝ’ සංවිධානය සමඟ සමීපව කටයුතු කරන යුක්රේනය, ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලයි. රුසියාවේ විරෝධයට හේතුවක් වී ඇත්තේ මෙයයි.
යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයකට සූදානමින්, රුසියන් හමුදා සොල්දාදුවන් ලක්ෂ ගණනින් යුක්රේන රුසියා දේශසීමාවේ රුඳවීමට රුසියන් ජනාධිපති පුටින් කටයුතු කළේ ද මේ නිසාය.
෴ උපුටා ගැනීම - AFP