ටී රෙක්ස් පීනන්නත් දක්ෂයා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 12, 2022

ටී රෙක්ස් පීනන්නත් දක්ෂයා

අවුරුදු මිලියන 66 කට පෙර මිහිමත රජකළේ ඩයිනසෝරයන්ය. ඇතැම් ඩයිනසෝරයන් දැවැන්තයන් වූ අතර ඇතැම් ඩයිනසෝරයන් කුකුළන් තරම් පුංචි විය. මිහිමත විසූ අපූරුතම ජීවීන් වර්ගය ඩයිනසෝරයන් බව අවිවාදයෙන් පිළිගත යුතුය. ඩයිනසෝරයන් අතරින් වඩාත් ජනප්‍රිය ඩයිනසෝරයා වන්නේ ටයිරැනසෝරස් රෙක්ස්ය. කෙටියෙන් කීවොත් ටී. රෙක්ස්ය. ටී. රෙක්ස් මොන විදියේ සතෙක්ද? එයාගේ පෙනුම මොන වගේද? එයා ජීවත් වුණේ කොහොමද? දැන් මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා දෙන්න, විද්‍යාත්මක පර්යේෂණවලට හැකියාව ලැබී තිබේ. ටී. රෙක්ස් ගැන පමණක් නොවෙයි, ඈත අතීතයේ විසූ අනෙක් ඩයිනසෝරයන් ගැනත් ප්‍රශ්න රැසකට පිළිතුරු ලැබී තිබේ. ඒ, වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ට ලැබුණු පොසිල සාක්ෂි අනුවයි. 
ඩයිනසෝරයන්ගේ කතාව 
BBC චිත්‍රාගාරයේ ස්වභාවික ඉතිහාස අංශය Natural History Unit, හොලිවුඩ් නළුවකු මෙන්ම සිනමාකරුවකු ද වන ජොන් ෆැව්රෝව් සහ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් පොසිල විද්‍යාඥයකු වන ආචාර්ය ඩැරන් නෑෂ් හවුල් කර ගනිමින්, අති නවීන පරිගණක තාක්ෂණය ද භාවිතයට ගනිමින්, ‘ප්‍රාග් ඓතිහාසික ග්‍රහලෝකය’ හෙවත් ‘ප්‍රීහිස්ටරික් ප්ලැනට්’ Prehistoric Planet යන නමින් අපූරු වාර්තාමය කතා මාලාවක් Apple TV+ නාළිකාව වෙනුවෙන් නිර්මාණය කර තිබේ. ඩයිනසෝරයන්ගේ අපූරු කතාව, ඉතාමත් තාත්වික අයුරින් අපට ගෙන එන්නේ, ගෞරවාදරයට පාත්‍ර කීර්තිමත් ස්වභාවවේදියකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ එම වැඩසටහන ඉදිරිපත් කරන බැවිනි. කොටස් පහකින් සමන්විත Prehistoric Planet මේ වනවිට ලොව පුරා ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වී තිබේ. Prehistoric Planet පළමු කතාංගය වෙන් වන්නේ වෙරළාශ්‍රිතව ජීවත් වූ ඩයිනසෝරයන් සඳහාය. 

පීනන්න දක්ෂ රෙක්ස් 
මිලියන ගණනක් ඈත අතීතයේ, අද අප උතුරු ඇමෙරිකාව ලෙස හඳුන්වන භූමිය මහා සාගරයෙන් දෙකඩ වී තිබුණි. එහි වූයේ ප්‍රධාන භූමියෙන් වෙන්වුණු ජීවයෙන් පිරුණු දූපත් රැසකි. ප්‍රධාන භූමියේ සිට පැමිණ වෙරළ හරහා මුහුද දෙසට වැටුණු දැවැන්ත අඩි සලකුණු කීපයකි. මේ අඩි සලකුණු එදා මිහිමත ජීවත් වූ අංක එකේ විලෝපිකයාට අයත්ය. අඩි සලකුණුවල හිමිකරු ටයිරැනසෝරස් රෙක්ස් හෙවත් ටී. රෙක්ස් ඩයිනසෝරයෙකි. ටී. රෙක්ස් මුහුදේ පිහිනයි. ඇතුළත කුහර සහිත, වායුව පිරුණු අස්ථිවලින් සමන්විත බැවින් සහ පසුපස ගාත්‍රා (පාද) ඉතාමත් ශක්තිමත්ව පිහිටා ඇති බැවින්, ටී. රෙක්ස් දුවන්න පනින්න පමණක් නොවෙයි, පිහිනන්නත් හපනෙකි. මෙසේ මුහුදේ පිහිනන, වැඩිහිටි පිරිමි සතෙකු වූ ටී. රෙක්ස් පුංචි පවුලක් සිටින තාත්තා කෙනෙකි. ටී. රෙක්ස් ඩයිනසෝරයන් පැටවුන්ට සෙනෙහෙබර යැයි පොසිල සාක්ෂිවලින් විද්‍යාඥයන් විසින් පැහැදිලි කරගෙන තිබේ. මෙසේ තාත්තා සමඟ පිහිනන ටී. රෙක්ස් පැටවුන් දැන් ලොකුය. තාත්තා සමඟ, ඔහු පසුපස යමින් වික්‍රමයක යෙදෙන්න තරම් ඔවුන් දැන් ලොකුය. ටී. රෙක්ස් තාත්තා, පැටවුන් පස් දෙනා ද සමඟ ඔවුන් ඉදිරියෙන් ඇති දූපත බලා එක එල්ලේ පිහිනයි. 
බිහිසුණු විලෝපිකයා 
දුපතට ඇත්තේ කෙටි දුරකි. ඒත් ඒ කෙටි දුර අනතුරුදායකය. මේ මුහුදේ ගැවසෙන විලෝපිකයෙක් සිටී. ඒ, මෝසසෝරස් නමැති දැවැන්ත ජලජ උරගයෙකි. මෝසසෝරස් ප්‍රමාණයෙන් ටී. රෙක්ස්ට වඩා දැවැන්තයෙකි. බර ටොන් 15 ක් පමණි. එදා අප ග්‍රහලොවේ ජීවත් වූ විශාලතම විලෝපිකයා මෝසසෝරස්ය. මෝසසෝරස් සාමාන්‍යයෙන් ගොදුරු කර ගන්නේ කැස්බෑවුන්ය. ඒත් ටී. රෙක්ස් සහ පැටවුන්, මෝසසෝරස්ට රසවත් ආහාරයක් වනු නිසැකය. හොඳින් වැඩුණු වැඩිහිටි ටී. රෙක්ස් ඩයිනසෝරයකුට, වතුරේ පිහිනමින් සිටියත්, මෝසසෝරස් වැනි විලෝපිකයකු සමඟ සටන් කරමින් ආරක්ෂා වීමට බොහොම හොඳින් හැකියාව තිබේ. 

දුර්වලයා
පුංචි පැටවුන් තාත්තා අසලින් සිටිය යුතුය. පැටවුන් පස් දෙනාගෙන් සිවු දෙනකු ශක්තිමත්ය. ඔවුහූ ටී. රෙක්ස් තාත්තා සමඟ හරි හරියට පිහිනති. පැටවුන් පිහිනමින් සිටින්නේ තාත්තා අසලින්මය. එහෙත් පසුපසින්ම පිහිනමින් පැමිණෙන පැටවා දුර්වලය; වේගයෙන් පිහිනීමට හැකියාව නැත. සත්ව ලෝකයේ දිවි රැක ගත හැක්කේ ශක්තිවන්තයන්ට පමණි‍. අවුරුදු මිලියන 66 කට පෙර අතීතයේ ද එය එසේමය. 
පැටවාගේ වියෝව
ටී. රෙක්ස් සහ පැටවුන් සිවු දෙනා ඔවුන්ගේ ගමනාන්තයට පැමිණ සිටිති. දූපතේ වෙරළ ඔවුන් ඉදිරියේ දිස්වෙයි. දුර්වල පැටවා තවමත් මීටර් කීපයක් පසුපසිනි. මෝසසෝරස්, පිහිනීමේ වේගය වැඩි කරයි. හිටිහැටියේ දුර්වල පැටවා දිය යටට ඇදී යයි. ඒ, මෝසසෝරස්ගේ ගොදුරක් බවට පත් වෙමිනි. වෙරළට පය තැබූ ටී. රෙක්ස් තාත්තා සාගරය දෙස බලයි. එක් පැටවකු අහිමි වුණු බව ඔහු දනී. පොසිල විද්‍යාඥයන් අනාවරණය කර ගත් කරුණු අනුව, ඔවුන් පවසන්නේ ටී. රෙක්ස් පැටවුන්ගෙන් වැඩි දෙනෙක් පළමු වසර ඇතුළත මියයති; එක්කෝ ඔවුන් තවත් විලෝපිකයකුගේ ගොදුරක් බවට පත් වෙති. නැතිනම්, ලෙඩ රෝගවලින් මියයති. 

කැස්බෑ දූපත
ඉතිරි වූයේ පැටවුන් සිවු දෙනකු පමණි. පැටවුන් ද සමඟ ටී. රෙක්ස් තාත්තා වෙරළේ ඇවිද යයි. දුපත ආරක්ෂිත තැනකි. එපමණක් නොව, කෑමට ගත හැකි බොහෝ දේ එහි ඇත. දූපත යෝධ කැස්බෑවුන්ගේ නිවහනකි. මේ යෝධ කැස්බෑවකු ටොන් දෙකක් පමණ බරින් යුක්තය. යෝධ කැස්බෑවුන් මේ දූපතට පැමිණෙන්නේ බිත්තර දැමීමටය. බිත්තර දැමීමට පැමිණි කැස්බෑ යෝධයන් ගැන ටී. රෙක්ස් තාත්තා උනන්දුවක් දක්වන්නේ නැත. ටී. රෙක්ස් තාත්තා යන්නේ වෙරළේ ඇති කැස්බෑ මළකුණක් වෙතය. ටී. රෙක්ස් පැටවුන් ද කැටුව මේ දූපතට පිහිනා ආවේ මේ මළකුණ නිසාය. මළකුණෙන් නැඟුණු දුඟඳ ටී. රෙක්ස්ගේ තියුණු නාසයට දැනුනේ දියඹේ පිහිනමින් සිටියදීය. 

ශක්තිමත් හකුපාඩා
කැස්බෑවාගේ මස් ආහාරයට ගැනීමට නම්, කැස්බෑවා උඩුබැලි අතට හරවා ගත යුතුය. හේතුව පිටේ ඇති ඝන කටුව ටී. රෙක්ස්ගේ ඇති ශක්තිමත් දත්වලින් පසාරු කිරීම අසීරු බැවිනි. ටී. රෙක්ස් තාත්තා සිය හොම්බෙන් තල්ලු කරමින් මියගිය කැස්බෑවාගේ සිරුර උඩුබැලි අතට හරවයි. පහසුවෙන් ලබා ගැනීමට හැකි මස් රාත්තල් 2,000ක් පමණ මෙහි ඇත. සොබාදහමේ ශක්තිමත් හකුපාඩා ඇති සත්වයකු වන ටී. රෙක්ස් හැඳින්විය හැකිය. ටොන් පහකට වඩා වැඩි බලයක් යොදා, මස් ඉරා ගැනීමට ඒ හකුපාඩාවලට පුළුවන. තමන්ටත් කටක් ලැබේවිදැයි පැටවු බලා සිටිති. ඒත් ටී. රෙක්ස් තාත්තා බෙදා හදා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැත. 
ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ 
කැස්බෑ බබාලා
ටී. රෙක්ස් තාත්තා, සිය දරුවන් දූපතට රැගෙන ආවේ ඔවුන්ට තනිවම දඩයම් කරන හැටි ඉගැන්වීමටය. ඒත් ඔවුන් සිටින වෙරළේ ගොදුරු කර ගන්න සතකු ඇති බවක් පැටවුන්ට පෙනෙන්නේ නැත. හිරු අවරට යද්දී තත්ත්වය වෙනස් වෙයි. බිත්තර පුපුරා වැලි අතරින් මතුවන පුංචි කැස්බෑ පැටවු මුහුද කරා ඇදෙති. පුංචි කැස්බෑ බබාලා ටී. රෙක්ස් බබාලාට රස කෑමක් විය හැකිය. ටී. රෙක්ස් තාත්තා මෙසේ ටී. රෙක්ස් පැටවුන් රැගෙනැවිත් ඇත්තේ ඔවුන්ට දඩයම් පුහුණු විය හැකි අපූරු තැනකටය. දඩයමට වඩා ටී. රෙක්ස් පැටවුන් සිටින්නේ කැස්බෑ පැටවුන් ගැන කුතුහලයෙනි. එක් ටී. රෙක්ස් පැටවකු කැස්බෑ පැටවකු සිය පාදයෙන් තද කර අල්ලා ගනී. කැස්බෑ පැටවා වැලියට සැඟවෙයි. ඒත් ටී. රෙක්ස් පැටවාගේ ඊළඟට අවධානය යොමු වන්නේ අසලින් ඇදෙන තවත් කැස්බෑ පැටවකු කෙරෙහිය. ටී. රෙක්ස් පැටවා එම කැස්බෑ පැටවා වෙත දුවයි. වැලි යට සැඟවුණු කැස්බෑ පැටවා යළි වෙරළ කරා යන ගමන අරඹයි. ගොදුරු අල්ලා ගැනීම් ගැන ටී. රෙක්ස් පැටවුන්ට ඉගෙනීමට බොහෝ දේ තිබේ. ටී. ටෙක්ස් තාත්තාටත්, පැටවුන්ටත්, ඇති තරම් ආහාර මෙහි තිබේ. තනිවම ගොදුරු අල්ලා ගැනීමට බැරි නම්, තව කෙනකු අල්ලා ගත් ගොදුරක් ඩැහැගෙන යන ආකාරය පුහුණු වෙන්නටත් පැටවුන්ට පුළුවන. 

෴ ලුසිත ජයමාන්න
ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ 
ඉදිරිපත් කරන Apple TV+ 
Prehistoric Planet ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom